ශ්‍රි ලංකා පාසැල් ක්‍රිකට් සංගමය, 2023-2024 දෙදින තරඟාවලිය සඳහා ක්‍රීඩා කළ පාසල් කණ්ඩායම් හතරක් පහත හෙළීම සඳහා සැලසුම් කර ඇති ක්‍රියාවලිය අසාධාරණ සහ දෝෂ සහිත බවට චෝදනා කරමින් පාසැල් 05ක් විසින් පාසැල් ක්‍රිකට් සංගමයට එරෙහිව පසුගියදා කොළඹ දිසා අධිකරණයේ නඩු පවරා තිබුණා.
කොළඹ ආනන්ද විද්‍යාලය, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය, වෙන්නප්පුව ජෝෂප් වාස් විද්‍යාලය, කටුනේරිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය එම නඩුව පවරා ඇති බව වාර්තා වනවා.
මෙතෙක් පැවති ආකාරයට එක් තරගාවලියකදී එක් කාණ්ඩයකින් කණ්ඩායම් දෙකක් පමණක් පහත දැමීම සහ ඒ සඳහා ලකුණු සටහනේ අවසානයට සිටින කණ්ඩායම් දෙක තෝරාගත යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙසට නඩුව පැනවූ පාසැල්, අධිකරණයෙන් ඉල්ලා සිටින බවයි සඳහන් වන්නේ.
ඒ අනුව අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ 2023-24 තරගාවලියේ එක් කාණ්ඩයක ක්‍රීඩා කළ පාසැල් හතරක් පහත දැමීම සඳහා සංවිධාන කර ඇති “පහත දැමීමේ තරග (Relegation matches)” පැවැත්වීම තාවකාලිකව වළක්වමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙන බව සඳහන් වනවා.
අදාළ වාරණ නියෝගය අප්‍රේල් 8 වනදා තෙක් බලපැවැත්වෙන අතර නඩුව එදිනට යළි කැඳවීමට නියමිතයි




