පසුගිය 17 වන දින පෙරවරු 11.43ට දිවයිනටම විදුලිය විසන්ධි වීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා බලශක්ති අමාත්යාංශය මගින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (19) විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වන ලදී.
මෙහිදී අදහස් දැක්වූ ජාතික පද්ධති ක්රියාකරු සමාගමේ ප්රධාන විධායක නිලධාරී බුද්ධික සමරසේකර මහතා සඳහන් කළේ, නොරොච්චෝලේ විදුලි බලාගාරයේ 1 වන ජනන යන්ත්රයේ මෙගාවොට් 187ක පැවති ධාරිතාව ඉතා කෙටි කාලයක් තුළ මෙගාවොට් 5කට වඩා අඩු අගයකට පහළ බැසීම මෙම හදිසි විදුලි බිඳවැටීමට සෘජුවම බලපා ඇති බවයි.
විදුලි පද්ධතියේ පාලනය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ සංඛ්යාතය (Frequency) මත බව පෙන්වා දුන් ඒ මහතා, සාමාන්යයෙන් පද්ධතිය 50.5 සහ 49.5 අතර සංඛ්යාත පරාසයක් තුළ මෙහෙයවන නමුත්, අදාළ අවස්ථාවේදී ඇති වූ හදිසි තත්ත්වය නිසා ඉතා කෙටි කාලයකින් සංඛ්යාතය බිඳවැටී සමස්ත ලංකා විදුලි පද්ධතියම කඩා වැටුණු බව වැඩිදුරටත් පැහැදිලි කළේය.




