2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ සියලුම උපකාරක පන්ති, සම්මන්ත්රණ සහ වැඩමුළු පැවැත්වීම අද (04) මධ්‍යම රාත්‍රියේ සිට සම්පූර්ණයෙන්ම තහනම් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සඳහන් කළේ, මෙම තහනම විභාගය අවසන් වන දෙසැම්බර් 05 වන දා දක්වා ක්‍රියාත්මක වන බවයි. ඒ අනුව, උපකාරක පන්ති පැවැත්වීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්රණ, වැඩමුළු සංවිධානය කිරීම මෙන්ම අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම හෝ ඒවා මුද්‍රණය කර බෙදාහැරීම ද මෙම කාලය තුළ තහනම් වේ.
මෙවර උසස් පෙළ විභාගය ලබන 10 වන දා ආරම්භ වන අතර, දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 236කදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. ඒ සඳහා පාසල් අයදුම්කරුවන් 246,521ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 94,004ක් ඇතුළුව, අපේක්ෂකයින් 340,525 දෙනෙකු පෙනී සිටීමට නියමිතය.
විභාගයට අදාළ ප්‍රවේශ පත්‍ර මේ වන විටත් සියලුම අයදුම්කරුවන් වෙත තැපැල් කර ඇති බවත්, යම් අයදුම්කරුවෙකුට එය ලැබී නොමැති නම්, විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස එහි පිටපතක් ලබාගත හැකි බවත් විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.




