හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙතෙක් කල් පදිංචිව සිටි කොළඹ, විජේරාම මාවතේ පිහිටි නිල නිවස ආණ්ඩුවට බාරදී අද (11 වැනිදා) දහවල් තංගල්ල, කාල්ටන් නිවස බලා පිටත්ව යන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
ඒ ඊයේ (10) ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් පසුව කථානායකවරයා සිය අත්සන යෙදවීමෙන් පසු නිල නිවස අහිමිවීම හේතුවෙන්.
හිටපු ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා තංගල්ල කාල්ටන් නිවසේ අද (11 වැනිදා) පස්වරු 4 ට විශේෂ උත්සවයක්ද සූදානම්කර ඇති බවත් මහජන පෙරහැරකින් එතුමා නිවසට කැඳවාගෙන යෑමට සූදානමින් සිටිනා බවත් වාර්තා වනවා.
හිටපු ජනාධිපතිවරයාට සමුදීම සඳහා අද (11 වැනිදා) පෙරවරුවේ තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් කිහිප දෙනකු විජේරාම පාරේ නිවසට පැමිණීමටද නියමිතව බවටයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, හිටපු ජනාධිපතිවරයාට නිවසක් ලබාදීම සඳහා මහා සංඝරත්නය මෙන්ම ව්‍යාපාරිකයන් සහ විදේශගත ශ්‍රී ලංකිකයන්ද කැමැත්ත පළකර ඇති බව නාමල් රාජපක්ෂ මහතා සදහන් කළා.
එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසීම සඳහා කුරුණෑගල, අනුරාධපුර, කෑගල්ල යන දිස්ත්‍රික්කවල ජනතාව ආහාර පාන රැගෙන විජේරාම නිවසට පසුගිය සති කීපය තුළ පැමිණි අයුරුද දක්නට ලැබුණා.




