කැනඩාවේ, ඔටාවාහී ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු ඝාතනය කර එරට පොලිසිය අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලාංකික සිසුවා අද (14) නැවතත් ඔටාවා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
ෆෙබ්‍රියෝ ද සොයිසා නම් ශ්‍රී ලාංකික සිසුවා පසුගිය බ්‍රහස්පතින්දා ඔටාවා අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, එහිදී ඔහුට පළමු මට්ටමේ මිනීමැරුම් චෝදනා හයක් සහ මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් නිල වශයෙන් චෝදනා ගොනු කරනු ලැබුවා.
කැනඩාවේ ඔටාවා අගනුවරට තදාසන්න බැර්හෙවන් ප්‍රදේශයේ පදිංචිව සිටි එකම පවුලේ සාමාජිකයින් පස්දෙනෙකු ඇතුළු ශ්‍රී ලාංකිකයින් 06 දෙනෙකු නිවස තුළදීම සාහසික ලෙස ඝාතනයට ලක්වුයේ පසුගිය බදාදා රාත්‍රීයේ දීයි.
එම ඝාතන සම්බන්ධයෙන් 19 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවෙකු වන ෆෙබ්‍රියෝ ද සොයිසා ඔටාවා පොලීසිය විසින් එදින රාත්‍රීයේම අත්අඩංගුවට ගනු ලැබුවා.
අද දිනයේදී ෆෙබ්‍රියෝ ද සොයිසා නැවත ඔටාවා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර සැකකාර 19 හැවිරිදි ශ්‍රී ලාංකික පාසල් සිසුවා පරිගණක ක්‍රීඩා සම්බන්ධයෙන් පවත්වාගෙන ගිය YouTube චැනලය අත්හිටුවීමට ගූගල් සමාගම පියවර ගෙන තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ගූගල් සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ, ඔටාවාහී සිදුවු ඛේදජනක ඝාතනයෙන් පසුව YouTube සමාගමේ මාර්ගෝපදේශයන්ට අනුව ආරක්ෂක සහ විශ්වසනීත්වය උදෙසා සැකකරු පවත්වාගෙන ගිය එම චැනලය අත්හිටුවීම සිදුකර ඇති බවයි.
මේ අතර ඔටාවාහීදී ඝාතනයට ලක්වු පවුලේ මව වන දර්ශනී දිලන්තිකා ඒකනායක මහත්මියගේ මෙරට නිවසේ ආගමික වතාවත් සිදුකර ඇති බව BBC සිංහල පුවත්සේවය වාර්තා කරනවා.
ජයන්ති ඒකනායක – දර්ශනි දිලන්තිකාගේ මව,
“මගේ පැටව් ටික දෙපයින් හිටියා නම්… මිනි පෙට්ටි පහක් ගෙනල්ලා මෙතෙන තියාගෙන වේදනා විදින්න අමාරුයි. මිනී ගේන්නේ නෑ සියලු කටයුතු එහෙ සිදුකරනවා. පන්සලේ හාමුදුරුවෝ අවශ්‍ය කරන කටයුතු සියලු දේවල් කරනවා. හස්බන්ඩ් ගේ පැත්තේ අප්පච්චියි, මල්ලියි ඒවා බලලා කටයුතු කරනවා.”




