මිනිස් ඝාතන ඇතුළු අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලීසිය මඟින් රතු නිවේදන නිකුත් කර ඇති ශ්‍රී ලාංකික අපරාධකරුවන් 82 දෙදෙනාගෙන් 15 දෙනෙක්ම සිටින්නේ එක්සත් එමීර් රාජ්‍යයේ බවට තහවුරු වී ඇත.
එරට ආරක්ෂක අංශ විසින් ඒ බව තහවුරු කර ජාත්‍යන්තර පොලීසියට මේ වන විටත් දැනුම් දී ඇති බව සඳහන්ය. එම රතු නිවේදනලාභීන්ව සමීපව එරට ආරක්ෂක අංශ අධීක්ෂණය කරන බව ද සඳහන්ය. ඩුබායි පොලීසිය පසුගිය ඔක්තෝබර් මාසයේ දී අත්අඩංගුවට ගත් පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙක් වූ ලලිත් කන්නන්ගර නමැති අපරාධකරු කඩිනමින් මෙරටට රැගෙන ඒමට හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කළද ඔහු විසින් එරට ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බැවින් එම නඩු කටයුත්ත අවසන් වන තුරු ඔහු මෙරටට ලබා ගැනීමට නොහැකි වනු ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවා.
අඩුම තරමින් නඩු කටයුත්ත අවසන් වීමට මාස 04ක් පමණ ගතවනු ඇතැයි ද එම නිලධාරියා කීය. ඔහු වෙනුවෙන් මෙරටින් නීතිඥවරයෙක් ද ඩුබායි ගොස් ඇති බව ද එම නිලධාරියා වැඩිදුරටත් සදහන් කළා.




