ඉදිරිපත් කර ඇති අයවැය මගින් වෛද්‍යවරුන් මුහුණ දෙන ගැටලුවලට කිසිදු විසඳුමක් ලබා දී නොමැති බව පවසන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, එළඹෙන නොවැම්බර් 17 වන දා සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව අද (11) නිල වශයෙන් නිවේදනය කළේය.
මෙම තීරණය ගෙන ඇත්තේ, අද දින රැස්වූ එම සංගමයේ මධ්‍යම කාරක සභාවේදී පැවති දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව බව වාර්තා වේ.
එම වෘත්තීය ක්‍රියාමාර්ගයේ පළමු පියවර ලෙස, රජයේ රෝහල්වල සහ සෞඛ්‍ය සායනවලදී, රෝගීන්ට පිටතින් ඖෂධ මිලදී ගැනීම සඳහා ඖෂධ වට්ටෝරු නිකුත් කිරීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇති බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර, මෙවර අයවැයෙන් තම ගැටලු සඳහා අපේක්ෂා කළ ස්ථිර විසඳුම් නොලැබීම හේතුවෙන්, ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දිවයිනේ සියලුම විශේෂඥ වෛද්‍යවරුන් කොළඹට කැඳවා ඇති බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයද පවසයි.




