ඉන්දියාවේ අගනුවර හදවත බඳු ඓතිහාසික රතු බලකොටුව අසල ඊයේ (10) දින සිදුවූ මෝටර් රථ බෝම්බ පිපිරීම, ඉහළ උගත් වෘත්තිකයන් විසින් මෙහෙයවනු ලබන “සුදු කරපටි ත්‍රස්තවාදයේ” නව මුහුණුවරක් බව ඉන්දීය විමර්ශකයෝ අනාවරණය කරගෙන සිටිති.
පුද්ගලයින් 09 දෙනෙකුට මරු කැඳවා, 20 දෙනෙකුට අධික පිරිසකට තුවාල සිදුකළ මෙම කම්පන සහගත ප්‍රහාරය, ඉහළ අධ්‍යාපනය ලත් වෛද්‍යවරුන් පිරිසකගෙන් සැදුම්ලත් ත්‍රස්ත කල්ලියක සැලසුමක් බවට මේ වන විට තහවුරු වෙමින් පවතී.
පිපිරීමෙන් විනාශ වූ සුදු පැහැති හයුන්ඩායි i20 මෝටර් රථය පැදවූ මරාගෙන මැරෙන බෝම්බකරු, වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වන උමාර් මොහොමඩ් බවට ප්‍රබලව සැක කෙරෙන අතර, ඔහුගේ මව සහ සහෝදරයන් මේ වන විට ජම්මු කාශ්මීරයේදී ප්‍රශ්න කිරීම සඳහා රඳවාගෙන ඇත.
මෙම ත්‍රස්ත ජාලයට සම්බන්ධ යැයි සැක කෙරෙන තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකු වන අඩීල් අහමඩ් රාතර් සහ මුසම්මිල් ෂකීල් පිළිබඳව ද පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි.
මෙම සිදුවීම, ත්‍රස්තවාදී සංවිධාන සාම්ප්‍රදායිකව බඳවාගන්නා සාමාජිකයින්ගෙන් ඔබ්බට ගොස්, සමාජයේ ඉහළ පිළිගැනීමක් ඇති වෘත්තිකයන් වෙත යොමුවීමේ භයානක ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව ආරක්ෂක ඒජන්සි පෙන්වා දෙයි.
මෙම “සුදු කරපටි” ත්‍රස්ත කණ්ඩායම, සිය දේශන, සම්බන්ධීකරණ, අරමුදල් රැස්කිරීම් සහ සැපයුම් කටයුතු සඳහා අතිශය සංකේතාත්මක සන්නිවේදන නාලිකා (encrypted channels) භාවිතා කර ඇති බව ජම්මු සහ කාශ්මීර පොලීසිය සොයාගෙන තිබේ. පුණ්‍ය කටයුතු සහ ශාස්ත්‍රීය අරමුණු මුවාවෙන්, සිය වෘත්තීය ජාල හරහා ඔවුන් අරමුදල් රැස්කර ඇති බවටද තොරතුරු හෙළිවී ඇත.
මෙම පිපිරීමට දින කිහිපයකට පෙර, ජම්මු සහ කාශ්මීර පොලීසිය සහ හර්යානා පොලීසිය එක්ව මෙම නව ත්‍රස්ත ජාලය පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස වෛද්‍ය අඩීල් අහමඩ් රාතර් සහ වෛද්‍ය මුසම්මිල් ෂකීල් අත්අඩංගුවට ගැනීමට හැකි වූ අතර, ඔවුන්ගෙන් ලද තොරතුරු මත ෆරීඩාබාද්හි කාමර දෙකක සඟවා තිබූ ඇමෝනියම් නයිට්රේට් යැයි සැකකෙරෙන, බෝම්බ සෑදීමට ගන්නා රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2,900ක දැවැන්ත තොගයක් සොයා ගැනිණි. දිල්ලි පිපිරීම සඳහා යොදාගෙන ඇත්තේ ද එම රසායනික ද්‍රව්‍යම බව විමර්ශකයෝ විශ්වාස කරති.
විමර්ශකයන්ගේ මතය වන්නේ, සිය සගයන් අත්අඩංගුවට පත්වීම සහ පුපුරණ ද්‍රව්‍ය තොගය පොලිස් භාරයට පත්වීමත් සමඟ, තමන් කොටුවී ඇතැයි බියට පත් වෛද්‍ය උමාර් මොහොමඩ්, සැලසුම් නොකළ ආකාරයට මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවයි.
ඊයේ සවස 6:52ට පමණ, රතු බලකොටුව සහ චාන්දනි චෞක් අතර පිහිටි නේතාජි සුභාෂ් මාර්ගයේ රථවාහන සංඥා අසලදී මෙම මෝටර් රථය පුපුරා ගොස් තිබේ. CCTV දර්ශනවලට අනුව, මෝටර් රථය පිපිරීමට පැය තුනකටත් වැඩි කාලයක් රතු බලකොටුව අසල නවතා තිබී ඇති අතර, රියදුරු මොහොතකටවත් ඉන් බැස ගොස් නොමැත.
නීති විරෝධී ක්‍රියාකාරකම් (වැළැක්වීමේ) පනත යටතේ නඩුවක් ලියාපදිංචි කර ඇති අතර, ඉන්දියාවේ ප්‍රධාන ත්‍රස්ත විරෝධී ඒජන්සිය වන ජාතික විමර්ශන ඒජන්සිය (NIA) විසින් මෙම විමර්ශනය ඉදිරියේදී භාර ගැනීමට නියමිතය.




