spot_img
spot_img

වසරේ දෙවන වරටත් විදුලි ගාස්තු ඉහළ දැමීමට සැරසෙන්නේ ඇයි?

ලංකා විදුලි බල මණ්ඩලය යළිත් වරක් විදුලි ගාස්තු ඉහළ දැමීමට යෝජනා කර තිබේ.

එම මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා ඇත්තේ, 2025 වසරේ අවසන් කාර්තුව සඳහා 6.8%ක ගාස්තු ඉහළ දැමීමට ඉඩ දෙන ලෙස ය.

විදුලි බල මණ්ඩලයේ සමාන්‍යාධිකාරී ඉංජිනේරු වසන්ත එදිරිසූරියගේ අත්සනින් යුතුව මහජන උපයෝගීතා කොමිසම වෙත යොමු කර යෝජනාවලියෙන් ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලය තුළ ඇස්තමේන්තු කර ඇති හිඟය මඟ හැරීම සඳහා බව පවසමින් මෙලෙස ගාස්තු වැඩි වීමක් ඉල්ලා ඇත.

‘2025 ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලය තුළ රුපියල් මිලියන 1.7,694ක හිඟයක් ඇස්තමේන්තු කර ඇති අතර, 6.8% ක තීරුබදු වැඩිවීමක් අවශ්‍ය වන අතර, ඇස්තමේන්තුවේ ඇති ඕනෑ ම විචලනයක්, අතිරික්තයක් හෝ හිඟයක් වේවා, BSTA හි ගිණුම්ගත කර, නැවත ගාස්තු සංශෝධනයේදී සලකා බලනු ලැබේ,’ ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.

මූල්‍ය හා මෙහෙයුම් ස්ථාවරත්වය සහතික කිරීම සහ විදුලි සැපයුමේ විශ්වසනීයත්වයට ඇති විය හැකි අවදානම් අවම කිරීම සඳහා විදුලි බල මණ්ඩලය ගාස්තු ඉහළ දැමීම යෝජනා කර තිබේ.

ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා වියදම්වල සාරාංශයක් සහිත දීර්ඝ වාර්තාවක් ද විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත යොමු කරනු ලැබ තිබේ.

විදුලි බල මණ්ඩලයේ වත්මන් ගාස්තු, ඉන්ධන ලබා ගැනීමේ හැකියාව සහ මිල ගණන්, ජල විදුලි බල ගලා ඒම, බලාගාර නඩත්තු කාලසටහන්, බලශක්ති ඉල්ලුම, පොළී අනුපාත, ආර්ථික ප්‍රකෘතිය, සම්ප්‍රේෂණය සහ බෙදා හැරීම අවසර ලත් ආදායම් ගැලපීම්, පෙර කාල පරිච්ඡේදවල සැබෑ BST ප්‍රතිසන්ධානය, UNT ගැලපීම් සහ තීරුබදු යෝජනාව සංවර්ධනය කිරීම සඳහා රජයේ ප්‍රතිපත්ති වැනි සාධක CEB විශ්ලේෂණයන් සලකා බලා මෙම යෝජනාව ඉදිරිපත් කළ බව විදුලි බල මණ්ඩලය පවසයි.

2025 වසරේ විදුලි ගාස්තු අඩුවැඩි වුණේ කොහොම ද?
2025 මුල් මාස 6 සඳහා එතෙක් පැවති ගාස්තු එලෙස ම පවත්වාගෙන යාම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය යෝජනා කර තිබුණු අතර එම යෝජනාවට ප්‍රතියෝජනාවක් ඉදිරිපත් කළ මහජන උපයෝගිතා කොමිසම 2025 ජනවාරි මාසයේ සිට විදුලි ගාස්තුව 20%කින් පහත දැමීමට තීරණය කළේ ය.

විදුලි ගාස්තුව පහත හෙළීමෙන් 2025 ජනවාරි සිට මාර්තු දක්වා වූ මුල් කාර්තුවේ රුපියල් බිලියන 18ක පාඩුවක් ලැබූ පවසමින් විදුලි බල මණ්ඩලය ජූනි සිට දෙසැම්බර් දක්වා කාලය සඳහා 18.3%ක ගාස්තු වැඩි වීමක් අවශ්‍ය බව ලංකා විදුලි බල මණ්ඩලය යෝජනා කළේ ය.

විදුලි බල මණ්ඩලයේ එම යෝජනාව පිළිබඳ සමාලෝචන සහ මහජන උපදේශනවලින් අනතුරුව ගාස්තු ඉහළ දැමීම 15%කට සීමා කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පියවර ගත්තේ ය.

විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව ගැන ජනතාව කියන්නේ කුමක් ද?

“අපේ ඒසී වැඩ කරනවා, වැඩ කරන ටූල් 95%ක් විතර වැඩ කරන්නේ කරන්ට් එකෙන් එතකොට අපේ කොස්ට් එකට තමයි මේක බලපාන්නේ, ඒ එක්ක ම ලාභය අඩු වෙනවා.” ජංගම දුරකතන අලුත්වැඩියා කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන ක්‍රිෂාන් අංජන බීබීසි සිංහල සේවයට පැවසීය.

“මීට අවුරුදු 4කට විතර කලින් රුපියල් 8,000ක වගේ බිලක් තමයි අවේ. දැන් මම 32,000ක වගේ බිලක් ගෙවනවා.”

තවදුරටත් විදුලි ගාස්තු ඉහළ ගියහොත් එය සිය ව්‍යාපාරවලට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවට ක්‍රිෂාන් සැක පළ කරයි.

ගෘහණියක හා බතික් ඇඳුම් නිර්මාණ ශිල්පිනියක වන දේශානි බොතේජු පෙන්වා දෙන්නේ, විදුලි ගාස්තුව වැඩි වුවහොත් එය එදිනෙදා ජීවිතයට මෙන් ම තම ව්‍යාපාර කටයුතුවලට ද බලපෑමක් එල්ල කරන බව ය.

“ගෙදර අපි පාවිච්චි කරන ගොඩක් දේවල් ඉලෙක්ට්‍රික් ඒවා නේ. අපිට නවත්තගන්නත් බෑ ඒවා පාවිච්චි කරන එක, ඉතින් විදුලි බිල වැඩි වෙන එක ආර්ථික වශයෙන් තමයි බලපාන්නේ. හම්බ වෙන මුදලින් වැඩි ගාණක් කරන්ට් බිලට දාන්න වුණා ම සෑහෙන ප්‍රශ්නයක් වෙනවා.”

“මම බතික් කරන නිසා වතුර ගොඩක් පාවිච්චි වෙනවා, වතුර මෝටරය පාවිච්චි වෙනවා වැඩිපුර ප්‍රමාණයක්. මහන්න දෙන්න ගියා ම ඒ ගාස්තුත් වැඩි වෙනවා. එතකොට අපිට පාරිභෝගිකයාට ගාණක් කියන්න බැරි ප්‍රශ්නෙ යි, අපේ ලාභය අඩු වෙන එක තමයි වෙන්නේ,” ඇය පැවසුවා ය.

විදුලි ගාස්තු ඉහළ ගියහොත් එය අනෙකුත් භාණ්ඩ හා සේවාවලට බලපෑම් ඇති කරන බැවින් එය දෛනික ජීවන රටාවට ද බලපාන බව දේශානි බොතේජු කියා සිටියා ය.

මහජන උපයෝගිතා කොමිසමේ තීරණය ලැබෙන්නේ කවදා ද?
විදුලි බල මණ්ඩලය ඉල්ලා ඇති ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව සම්බන්ධ මහජන උපයෝගිතා කොමිසමේ තීරණය ඔක්තෝබර් මාසයේ මැද භාගය වන විට ලබා දිය හැකි වනු ඇති බවට කොමිසමේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් විශ්වාසය පළ කරයි.

“නිශ්චිත දිනයක් කියන්න අමාරු යි නමුත් ඔක්තෝබර් මැද වගේ කාලයේ, දෙවෙනි තුන්වෙනි සතිය වෙනකොට අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරන්න පුළුවන් වේවි.”

ගාස්තු ඉහළ දැමීමට විදුලි බල මණ්ඩලය කරන ලද යෝජනාව පිළිබඳව මහජන අදහස් හා යෝජනා විමසීම මහජන උපයෝගීතා කොමිසම දැනටමත් ආරම්භ කර ඇත.

මහජන උපදේශනයේ ලිඛිත අදහස් හා යෝජනා 2025 ඔක්තෝබර් 07 වන දිනට පෙර info@pucsl.gov.lk ඊමේල් ලිපිනය ඔස්සේ හෝ 076 427 1030 අංකයට වට්ස්අප් මගින් ‍මෙන්ම තුන්වෙනි විදුලි ගාස්තු පිළිබඳ මහජන උපදේශනය 2025, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, 6 වන මහල, ලංකා බැංකු වෙළඳ කුලුන, කොළඹ 3 යන ලිපිනයට යොමු කළ හැකි ය.

ඊට අමතරව, පළාත් නමය ආවරණය වන පරිදි මහජන සැසි 9ක් පැවැත්වීමට කටයුතු කරන බව ද සන්නිවේදන අධ්‍යක්ෂ, ජයනාත් හේරත් බීබීසි සිංහල සේවයට සඳහන් කළේ ය.

“පළාත් 9 ආවරණය වන පරිදි වාචික අදහස් දැක්වීමේ සැසි 9ක් තියෙනවා. ඒ එන යෝජනා සහ අදහස් සැලකිල්ලට අරගෙන ඒ සම්බන්ධ අවසන් තීන්දුව කොමිෂන් සභාව විසින් ඔක්තෝම්බර් මාසයේ ප්‍රකාශයට පත් කරන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ.”

වාචික අදහස් ලබා ගැනීමේ පළමු සැසිය නැගෙනහිර පළාත ආවරණය වන පරිදි සැප්තැම්බර් 18 වන දා ත්‍රිකුණාමලයෙන් ආරම්භ වීමට නියමිතව ඇත. ඔක්තෝබර් 3 වන දා දක්වා පළාත් නමය ආවරණය වන පරිදි මහජන සැසි පැවැත්වෙන බවත් ජයනාත් හේරත් කියා සිටියේ ය.

BBC සිංහල සේවයෙන් උපුටුගන්නා ලදි

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...