ඉදිරි මැතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දිමට තම පක්ෂය සූදානම් බව එක්සත් දෙමළ නිදහස් පෙරමුණේ නායක කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් මහතා පවසනවා.
ඊයේ (29) මඩකලපුවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.
කරුණා අම්මාන් තවදුරටත් සඳහන් කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ කාලයේ අගාධයට වැටුණු රට වත්මන් ජනාධිපතිවරයා අමාරුකම් මැද යළි ගොඩගෙන ඇති බවයි.
මේ අතර, හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සියලු ම දෙනා එක කුඩයක් යටට ඒකරාශි කරන්නැයි එක්සත් දෙමළ නිදහස් පෙරමුණේ නායක කරුණා අම්මාන් හෙවත් විනයාගමුර්ති මුරලිදරන් තමන්ට නියෝග කර ඇතැයි එම පක්ෂයේ නියෝජ්‍ය නායක ජෙයා සරවනාන් සඳහන් කරනවා.
දෙමළ රූපවාහිනි මාධ්‍ය ආයතනයකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් සරවනන් මේ බව පවසා තිබුණා.
හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් රජයේ පුනරුත්ථාපන වැඩපිළිවෙළින් පසුව සමාජගත කෙරුණත් මේ වන විට ඔවුන්ගේ බොහොමයක් දෙනා එදිනෙදා ආහාරවේල පවා සපයා ගත නොහැකිව දුක් විඳින බව ඔහු තවදුරටත් පවසා තිබෙනවා.
එමෙන්ම මේ සියලු සාමාජිකයන්ගේ ජීවනෝපාය මාර්ග නගා සිටුවීමට විනයාගමූර්ති මුරලිදරන් සැලසුමක් සකස් කර ඇති බව ද මෙම සැලසුම ක්‍රියාත්මක කිරීම ඔහුගේ සිහිනය වී ඇති බව ද ජෙයා සරවනාන් තවදුරටත් පවසා සිටියා.




