ජනතා විමුක්ති පෙරමුණට සහ බටලන්දේ නියමුවා වන රනිල් වික්‍රමසිංහ මැතිතුමාටද ජාතික ආරක්ෂාව තහවුරු කරන වැඩපිළිවෙලක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා.
ඒ මහතා පවසන්නේ, ත්රස්තවාදීන්ට අවි ආයුධ දුන් සජිත් ප්‍රේමදාස මැතිතුමාටද ජාතික ආරක්ෂාව තහවුරු කරන වැඩපිළිවෙලක් නොමැති බවයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ තිස්ස කුට්ටිආරච්චි මහතා :
“මේ වන කොට එන්න එන්නම ජනාධිපතිවරණයේ උණුසුම වැඩිවේගෙන යන අවස්ථාවක්. ප්‍රධාන ධාරාවේ ඉන්න අපේක්ෂකයින් 04 ක් තමයි තරඟයේ කරට කර ඉන්නේ. දැන් විවිධ කතාබහා සහ මඩ ප්‍රචාර ඒ සියල්ල තමයි අපිට මාධ්‍ය හරහා එලියට එනවා පේන්නේ. හැබැයි රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ ජාතික ආරක්ෂාව සම්පූර්ණ කරන්න පුළුන් මේ අපේක්ෂයෝ 04 න් මොන අපේක්ෂයාටද කියලා, ඒ වගේම ආර්ථික වැඩපිළිවෙල කෙසේද හදන්නේ කියන කාරණා තමයි රටේ ජනතාවට වැදගත් වෙන්නේ.
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයක් දරපු නැති නිසා එතුමා කියන දේවල් පිළිගන්නවාද නැත්ද කියන කාරණය විතරයි කතිරයක් ගහලා පෙන්වන්න වෙන්නේ. අනුර කුමාර දිසානායක මහතාගේ ඉතිහාස කතාව බැලුවාම වැඩකරලා පුරුදු නැහැ, කෙනෙකුගේ ආර්ථිකය හදලා පුරුදු නැහැ. ඒ වගේම හදපු වරායට, ගුවන්තොටුපොලට, අධිවේගි මාර්ගයට අවලාද කරනවා. ගම්මානවල විදුලි ප්‍රශ්න විසඳන්න උමා ඔය වගේ ව්‍යාපෘති ගේනකොට උමා ඹයේ හිලක් ගැන කතා කරනවා. ක්‍රියාකාරි රාජ්‍ය සේවකයින් රාජ්‍ය සේවය කරන්න දේන්නේ නැතිව වෘත්තිය සමිති හදාගෙන අඩාල කරනවා. අධ්‍යාපනය විනාශ කරනවා. ගුරුවරයාගේ ගරුත්වය විනාශ කරනවා. මේවා තමයි ජනතා විමුක්ති පෙරමුණ තුළ තිබෙන කතා. ඒ නිසා මම විශ්වාස කරන්නේ රට ගොඩනගන්න පුළුවන් බිමේ පැළ කර හැකි ප්‍රතිපත්තියක්, බිමේ මේ වෙනකොට පැල කරලා පෙන්වපු ප්‍රතිපත්තියක්, චින්තනයක් තිබෙන එකම අපේක්ෂකයයි මේ මැතිවරණය පුරාම ඉන්නේ, ඒ නාමල් රාජපක්ෂ මැතිතුමා පමණයි.
සමහරු කියනවා තෙල් පෝලිම, කිරිපිටි පෝලිම රනිල් වික්‍රමසිංහ මැතිතුමා නතර කළා කියලා. නමුත් කාංචන ඇමතිතුමාට අභියෝග කරනවා තෙල් පෝලිම, ගෑස් පෝලිම නතර කරන්න ප්‍රධාන සාධකය වුණේ බැසිල් රාජපක්ෂ මැතිතුමා ඉන්දියාවට ගිහිල්ලා සාකච්ඡා පවත්වලා ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් ගෙනාපු ඩොලර් බිලියන හතරේ මුදල නිසා නොවේද මේ තත්වය සමථයට පත්කරගන්න පුළුවන් වුණේ කියලා.
රටේ ජනතාවට වැදගත් වන්නේ මේ සුරංගනා කතා නොවේ. මේ රට ඉස්සරහාට ගෙනියන්න පුළුවන් පොලොවේ පැල කල හැකි ඇත්ත චින්තනයක් තිබෙන්නේ මේ අපේක්ෂයින් හතර දෙනාගෙන් කාටද කියලා බලන්න? රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඇත්තේම නැහැ. අපි ඒ කඳවුර නියෝජනය කරපු නිසා දන්නවා. දේශීයත්වය , දේශීය චින්තනයක්, දේශීය නිෂ්පාදනයක් එක්ක රටේ අනාගතයට යන්න පුළුවන් 2005, 2015 පෙන්වපු මහින්ද මහතා බිමේ පැල කරපු දර්ශනය තිබෙන එකම අපේක්ෂකයා නාමල් රාජපක්ෂ මැතිතුමා. අවුරුදු 38 තරුණයෙකුට මේ රට භාරගන්න ලැබුණු පළමු අවස්ථාව මෙයයි.
අනුරාධපුරු දිස්ත්‍රික්කයේ ඔබේ ඡන්දයෙන් මහින්ද මහතාගේ මුහුණ විකුණගෙන පාර්ලිමේන්තුවට ආපු අයියලා,මල්ලිලා, පාර්ලිමේන්තුවේ රාජ්‍ය ඇමතිකම් දරන තාත්තලා පුතාලා අපිව මගඇරපු අවස්ථාවේ ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන්ලා, මන්ත්රිවරුන්ලා අති සාර්ථක රැස්වීමක් කරන්න දුන්න සහයෝගයට පක්ෂයක් හැටියට හෘදයාංගම ස්තූතිය ප්‍රකාශ කරනවා.”




