එදා ආර්ථික අභියෝගයට බියේ පැන ගිය සජිත්ට සහ අනුරට අද ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට අවස්ථාව ලැබී තිබෙන්නේ තමන් රට තුළ ඇති කළ ආර්ථික ස්ථාවරත්වය නිසා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
සජිත්ට මෙම මැතිවරණය ජයගත නොහැකි බවත්, සජිත්ට ලබාදෙන ඡන්දය අනුරට ලබාදෙන ඡන්දයක් වන බවත් කී ජනාධිපතිවරයා, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති පාවා නොදෙන ලෙසද එම පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටියා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කැකිරාව මහජන ක්‍රීඩාංගණයේ පැවැති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලිය ඊයේ (01) පස්වරුවේ අමතමින්.
මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටියහ. තම නිෙවස කඩා වැටුණොත් අලුත් ගොඩනැඟිල්ලක් ඉදිකරන්නේ ශක්තිමත් පදනමක් මත බවත්, පෙර අත්තිවාරම දෙස බලා එය ගොඩනැඟීමට අවශ්‍ය පියවර අප හඳුනා ගන්නා බවත් පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමා මෙවර ජනතා වරමක් ඉල්ලා සිටින්නේ එම නිවස ගොඩනැඟීම වෙනුවෙන් බව ද සඳහන් කළා.
සජිත් හා අනුර ජනවරම ඉල්ලන්නේ තිබෙන නිෙවසත් ගිනි තබා දැමීමට බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙවර ජනාධිපතිවරණයේ දී තම ජයග්‍රහණය රටේ ජයග්‍රහණය වනු ඇති බව ද කියා සිටියා.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,
“මෙහි සිටින එක්සත් ජාතික පාක්ෂිකයන්ට මම වචනයක් කියන්න කැමතියි. අද එක්සත් ජාතික පක්ෂය බෙදිලා තිබෙනවා. ඇතැමුන් හිතනවා සමගි ජන බලවේගයට යන්න ඕන කියලා. නමුත් ජේ.ආර්. ජයවර්ධන සහ රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරුන්ගේ ප්‍රතිපත්තිය තිබෙන එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන්නේ මම කියලා කිව යුතුයි.
සජිත්ට මේ ඡන්දය දිනන්න බැහැ. සජිත්ට දෙන ඡන්දය අනුරට දෙන ඡන්දයක් බව කිව යුතුයි. මේ ගැන ජනතාව දැනුම්වත් කරන්න, අනුරට උදව් කර අපේ ප්‍රතිපත්ති අපි නැති කරගත යුතු නැහැ. ඒ නිසා අපි සියලුදෙනා එක්ව රට ඉදිරියට ගෙන යමු. මේ රටේ ජයග්‍රහණය තහවුරු වන්නේ මගේ ජයග්‍රහණය මත බව මම මෙහි දී ප්‍රකාශ කිරීමට කැමතියි.”




