එක්සත් රාජධානියේ මහ මැතිවරණය ජූලි 4 වන දින පැවැත්වීමට නියමිත බව අගමැති රිෂී සුනක් පවසනවා.
ඩවුනින්ග් වීදියේදී ඊයේ (22) සිදු කළ කතාවකදී ඔහු මේ බව නිවේදනය කළා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ පාලක පක්ෂය 05වන වරටත් බලය ලබා ගැනීමේ අරමුණින් මෙලෙස හදිසි මහ මැතිවරණයක් කැඳවා ඇති බවයි.
මහ මැතිවරණය පිළිබඳව නිවේදනය කරමින් අගමැති රිෂී සුනක් පවසා ඇත්තේ, බ්‍රිතාන්‍යයට එහි අනාගතය තෝරා ගැනීමට දැන් අවස්ථාව එළඹී ඇති බවයි.
මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් රජුට දැනුම් දුන් බවත් ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට රජුගේ අවසරය හිමි වූ බවත් රිෂී සුනක් මෙහිදී සඳහන් කර තිබුණා.
මහ මැතිවරණය සඳහා එක්සත් රාජධානිය පුරා සිටින ඡන්ද දායකයින්, මන්ත්‍රී මණ්ඩලය සඳහා සාමාජිකයින් 650 දෙනෙකු තෝරා ගනු ලබනවා.
ඒ අනුව, බහුතර බලය හිමි වන පක්ෂයේ නායකයා අගමැති ලෙස මීළඟ රජය පිහිටුවීමට නියමිතයි.
එලෙස පිහිටුවාගන්න රජය වසර පහක කාලයක් දක්වා පවතිනු ඇති.




