spot_img
spot_img

ත්‍රිපෝෂ සමාගම දියුණු කර රජයේ ආයතනයක් ලෙස පවත්වාගෙන යනවා

රිපෝෂ සමාගම මෙරට ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කිරීම වෙනුවෙන් නව්‍යකරණයට ලක් කර සංවර්ධනය කරමින් රජය සතු ආයතනයක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය තීරණය කර ඇත. ත්‍රිපෝෂ නිෂ්පාදන ආයතනය ඈවර කිරීමට පසුගිය ආණ්ඩුව තීන්දු කර තිබූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කඳාන පිහිටි ත්‍රිපෝෂ සමාගමේ වත්මන් තත්ත්වය සහ එහි ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ අදාළ සියලු නිලධාරීන් සමඟ පැවැත් වූ සාකච්ඡාවක දී මෙම කරුණු පෙරේදා (04) අනාවරණය කළේය.

පැවති රජයන් ජාතික වටිනාකමින් යුතු මෙම ත්‍රිපෝෂ නිෂ්පාදන ආයතනය සංවර්ධනය කර එහි ප්‍රතිලාභ ජනතාවට ලබාදීමට විධිමත් සහ ඉලක්කගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකිරීම මත එහි පූර්ණ ප්‍රතිලාභ ජනතාවට අහිමි වන තත්ත්වයක් උදාවෙමින් පැවති අතර එම තත්ත්වය වෙනස් කර නැවත ත්‍රිපෝෂ සමාගම මෙරට ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සපයන සක්‍රිය ආයතනයක් බවට පත් කිරීමේ අරමුණ පෙරදැරිව තම රජය ක්‍රියාත්මක වන බව ඇමැතිවරයා පැවසුවේය.

ත්‍රිපෝෂ සමාගමේ අමුද්‍රව්‍ය ගබඩාව, පූර්ණ සහ අවසන් නිෂ්පාදන කටයුතු, යන්ත්‍ර සූත්‍ර ක්‍රියාකාරීත්වය සහ ඇසුරුම් කටයුතු, තත්ත්ව කළමනාකරණ කටයුතු මෙන්ම සමාගමේ නව නිෂ්පාදනයන් ද ඇමැතිවරයා පරීක්ෂාවට ලක් කළ අතර, ත්‍රිපෝෂ සමාගමේ සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය කළමනාකාරීත්වය සහ කාර්ය මණ්ඩල සමඟ සාකච්ඡා කරමින් කර්මාන්ත ශාලාවේ මෙතෙක් ගමන් මඟ, වත්මන් මෙහෙයුම් කටයුතු, ඉදිරි සංවර්ධන කටයුතු මෙන්ම ත්‍රිපෝෂ නිෂ්පාදන ධාරිතාවය ඉහළ නැංවීම, නව නිෂ්පාදන හඳුන්වාදීම හා ප්‍රවර්ධනය පිළිබඳ සහ කාර්ය මණ්ඩලයේ ගැටලු පිළිබඳ ඉතා දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

ත්‍රිපෝෂ නිෂ්පාදන ආයතනයේ කටයුතු දියත් කිරීමේ දී, සමාගමට අවශ්‍ය බඩඉරිඟු හා සෝයා සපයන මෙරට ගොවි නිෂ්පාදකයන්, ව්‍යවසායකයන් දිරිගන්වමින් ඒකාබද්ධ කර ගනිමින් ඔවුන්ගේ නිෂ්පාදන ත්‍රිපෝෂ සමාගම මිල දී ගන්නා අඛණ්ඩ ක්‍රමවේදයක් සැකසිය යුතු බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසීය. මේ වනවිට සමාගමේ සැපයුම් ජාලය බිඳ වැටී ඇති බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත්ව ත්‍රිපෝෂ සමාගමේ නිෂ්පාදනයන් බෙදා හැරීමට විධිමත් ක්‍රමවේදයක් සකස් කළ යුතු බවත් ඇමැතිවරයා කීය. ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීම වෙනුවට එය රටේ ජනතාවගේ උන්නතිය සහ පෝෂණ අවශ්‍යතා වෙනුවෙන් ලාභ ලබන ආයතනයක් බවට පත් කරමින් විධිමත් සංවර්ධන වැඩපිළිවෙළක් යටතේ රජය සතු දියුණු ආයතනයක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන බව ද ඇමැතිවරයා කීය.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ 2023 විගණිත මූල්‍ය වර්ෂය දක්වා වූ සියයට 30 ඉක්ම වූ රුපියල් මිලියන 165ක ලාභාංශ අතරින් 2024.01.04 දිනට වන ලාභාංශ මුදල ලෙස රුපියල් මිලියන 11ක් මුදල් සැලසුම් හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය වෙත ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු වූ අතර, ඊට අදාළ චෙක්පත සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ එන්.ජේ. පතිරණ මහත්මිය වෙත ප්‍රදානය කෙරිණි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...