20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අමෙරිකාව සහ කැනඩාව අතර අද (02) පැවැත්වෙනවා.
එහි කාසියේ වාසිය දිනාගැනීමට අමෙරිකානු කණ්ඩායම සමත්වුණා.
ඒ අනුව, ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව කැනඩාවට ලබාදීමටයි.
තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන 06.00ට ආරම්භ වූ අතර, එම තරගය අමෙරිකාවේ ටෙක්සාස් හි, Grand Prairie ක්‍රීඩාංගණයේදී ක්පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම T20 ලෝක කුසලානයේ දෙවැනි තරගය ලෙසින් කොදෙව්වන් – පැපුවා නිව් ගිනියාව සමග ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 8ට තරග වැදීමට නියමිතයි.
2007 වසරේදී ක්‍රිකට් තරග ආකෘතිය උඩු යටිකුරු කරමින් ඇරඹි පන්දුවාර 20 ලෝක කුසලානය මෙවර එහි 9 වැනි දිගහැරුම සනිටුහන් කරන්නේ ලෝක බලවතා ලෙසින් සැලකෙන අමෙරිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් කේන්ද්‍ර කර ගනිමින්.
කොදෙව්වන් 2010 පන්දුවාර 20 ලෝක කුසලානයෙන් වසර 14කට පසු ලෝක කුසලානයක් සඳහා සත්කරයකත්වයක් ලබා දෙන අතර අමෙරිකානුවන් සිය ඉතිහාසයේ දැවැන්තම ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් මෙවර සිය සත්කාරකත්වය ලබා දෙන්නේ ක්‍රිකට් බලය ද සියතට ගැනීමේ අරමුණ ඇතිවයි.
ඒ වෙනුවෙන් නවීන පහසුකම්වලින් ඉදි කෙරුණු නිව්යෝර්ක්, ෆ්ලොරිඩා සහ ඩලස්හිදී ක්‍රීඩාංගණයන් තුනේදී පැවැත්වීමට නියමිත තරග සංඛ්‍යාව 16.
සම සත්කාරකත්වය දරණ කොදෙව් දේශයේ ක්‍රීඩාංගණ 7ක තරග 39ක් පැවැත්වීමට නියමිතයි.
පන්දුවාර 20 ලෝක කුසලාන ඉතිහාසයේ සහභාගිවන වැඩිම කණ්ඩායම් සංඛ්‍යාව මෙවර තරග වදින අතර, ඒ අනුව ලොව බලවත්ම ක්‍රිකට් රාජ්‍යයන් 20, දින 28ක ආසන්න කාලයක් තරග 55කදී ත්‍රඟ කරනු ලබනවා.
ඔවුන් මුලික වටයේදී A,B, C සහ D කාණ්ඩයෙන් තරග බිමට පිවිසීමට නියමිතයි.
A කාණ්ඩයෙන්, ක්‍රිකට් පිටියේ පසමිතුරන් වන ඉන්දියාව හා පාකිස්තානය, අයර්ලන්තය, කැනඩාව සහ අමෙරිකාව තරග බිමට පිවිසෙන අතර, B කාණ්ඩයෙන් පසුගිය වර ලෝක ශූරයින් වන එංගලන්තය, ඔස්ට්‍රේලියාව, නැමීබියාව, ස්කොට්ලන්තය සහ ඕමානය තරග වදිනවා.
එහිදී තරගාවලියේ ආකර්ශණියම තරගය වන ඉන්දු – පාකිස්ථාන තරගය ජුනි මස 9 වැනිදා නිව් යෝර්ක්හිදී පැවැත්වීමට නියමිතයි.
නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, ඇෆ්ගනිස්ථානය, උගන්ඩාව සහ පැපුවා නිව්ගිනියාව C කාණ්ඩයෙන් ද, D කාණ්ඩයෙන් තරග වදින්නේ 2014 ලෝක ශූරයින් වන ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය, නෙදර්ලන්තය සහ නේපාලයයි.
ශ්‍රී ලංකාව මූලික වටයේදී සහභාගිවන පළමු තරගය හෙට දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිත අතර, අනතරුව ඔවුන් බංග්ලාදේශය, නේපාලය සහ නෙදර්ලන්තය සමග තරග වැදීමට නියමිතයි.
මුලික අවසන් වන විට එක් එක් කාණ්ඩයෙන් පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක බැගින් සුපිරි 8 දෙනාගේ තරග වටයට සුදුසුකම් ලබන අතර එහිදී ඔවුන් කාණ්ඩ දෙකකකින් තරග බිමට පිවිසෙනවා.
සුපිරි 8 දෙනාගේ තරග වටය අවසානයේදී පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක බැගින් අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබනවා.
මෙවර පන්දුවාර 20 ලෝක ශූරයින් තීරණය කෙරෙන අවසන් මහා තරගය ජුනි මස 29 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ කොදෙව් දේශයේ බ්‍රිජ්ටවුන්හිදීයි.




