තමන්ට ජනාධිපතිවරයා හමුවීමට අවශ්‍ය බව සඳහන් කරමින් පුදුකුඩිඉරුප්පු ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනෙකු පුදුකුඩිඉරුප්පු මධ්‍ය මහා විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතවී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) “උරුමය” වැඩසටහන යටතේ මුලතිව් දිස්ත්‍රික්කයේ සිනන්කක්ර ඔප්පු ලබාදීමේ උත්සවයට සහභාගී වීම සඳහා එහි පැමිණි අවස්ථාවේ මෙම කාන්තාවන් මෙලෙස විරෝධතාවයේ නිරතව ඇත.
මේ පිළිබඳ සොයාබැලීම සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර පී. එස්. එම්. චාල්ස් මහත්මිය මෙම කාන්තාවන් දෙදෙනා සිටි ස්ථානය වෙත ගොස් ඔවුන්ගේ ගැටළුව කුමක්දැයි විමසා ඇති බව වාර්තාවෙයි.
එහිදී ඔවුන් සඳහන් කර ඇත්තේ සිය ගැටළුව ජනාධිපතිවරයා වෙතට ඉදිරිපත් කළ යුතු බවය.
ඉන් අනතුරුව උතුරු පළාත් ආණ්ඩුකාරතුමිය මේ බව දැනුම්දීමෙන් පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විරෝධතාව පැවති ස්ථානයට ගොස් ඔවුන්ගේ ගැටළුවට සවන් දීමට කටයුතු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
මෙහිදී එම කාන්තාවන් ජනාධිපතිවරයා වෙත පෙන්වා දී තිබෙන්නේ තමන් ඇතුළු කේප්පාපිලවු ග්‍රාමයේ පදිංචි පවුල් 56ක් ඉඩම් ගැටළුවක් හේතුවෙන් දැඩි පීඩාවකට පත්ව සිටින බැවින් එය කඩිනමින් විසඳීමට කටයුතු කර දෙන ලෙසටය.
මීට ප්‍රතිචාර දක්වමින් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේ අදාළ ගැටළුව පිළිබඳ සොයාබලා කඩිනමින් විසඳීමට වගකිව යුතු අංශ දැනුවත් කරන බවය.
එසේම උතුරු පළාත තුළ රජය සතුව පවතින ඉඩම් විශාල ප්‍රමාණයක් නිදහස් කිරීමට දැනටමත් කටයුතු කර ඇති බවත්, තවදුරටත් විසඳීමට තිබෙන ඉඩම් ගැටළු කඩිනමින් විසඳීම තම අපේක්ෂාව බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.
ගැටළුවට සවන්දී විසඳුම් ලබාදීම සඳහා තමන් වෙත පැමිණීම පිළිබඳ විරෝධතාවට එක්ව සිටි කාන්තාවන් ජනාධිපතිවරයා වෙත සිය සතුට පළ කළ බවද ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.




