ශ්‍රී ලංකා බැංකු ඉතිහාසයේ මෑතකදී වාර්තා වූ බරපතළම සහ විශාලතම මූල්‍ය වංචාව වන ජාතික සංවර්ධන බැංකුවේ (NDB) රුපියල් බිලියන 13.2ක (මිලියන 13,200) මහා පරිමාණ මූල්‍ය මංකොල්ලය පිළිබඳ Deloitte ආයතනය සිදුකරන ස්වාධීන අධිකරණ වෛද්‍ය විගණනයේ (Forensic Audit) මූලික රහසිගත වාර්තාව ශ්‍රී ලංකා මහ බැංකුව වෙත බාරදී ඇත.
මුලින් 2023-2025 කාලයට පමණක් සීමා වී ඇතැයි සිතූ මෙම වංචාව, දැන් වසර 10ක් ඈතට දිවයන සැලසුම්සහගත ජාවාරමක් බවට විගණකවරුන් සොයාගෙන තිබේ
මෙය හුදෙක් එක් නිලධාරියෙකු කළ වංචාවක් නොව, බැංකුවේ අභ්‍යන්තර පාලන පද්ධතියේ (Internal Controls) සහ අවදානම් කළමනාකරණයේ පැවති බරපතළ බිඳවැටීමකි.
පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) පවා මේ වන විට මහ බැංකුවේ සුපරීක්ෂණ අසාර්ථකත්වය පිළිබඳව නිලධාරීන්ගෙන් දැඩි ලෙස ප්‍රශ්න කරමින් සිටී.
වඩාත්ම පුදුමසහගත කරුණ වන්නේ 2026 අප්‍රේල් 2 වැනිදා බැංකු පද්ධතිය මඟින් රුපියල් මිලියන 380ක් ලෙස ඇස්තමේන්තු කළ පාඩුව, දින 4ක් ඇතුළත (අප්‍රේල් 6 වන විට) රුපියල් බිලියන 13.2ක් දක්වා 35 ගුණයකින් ඉහළ යාමයි. මෙය හිතාමතාම තොරතුරු වසාගැනීමට කළ උත්සාහයක්ද යන්න විමර්ශනය කෙරේ.
කළු සල්ලි ගැවසුණු හැටි සහ අත්අඩංගුවට පත් පිරිස මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල හෙළි කළ පරිදි, මෙම වංචනික මෙහෙයුම අතිශය සංකීර්ණ තාක්ෂණික ජාලයක් හරහා සිදුව ඇත.
විදේශ ගිණුම් සහ ටෙලිග්රාෆ් පණිවිඩ සොරකම් කරන ලද මුදල් මූල්‍ය ආයතන 13ක පවත්වාගෙන ගිය ගිණුම් 227ක් හරහා ටෙලිග්රාෆ් පණිවිඩ (Telegraphic Transfers) 26,108ක් වැනි අතිවිශාල වාර ගණනකින් විදේශීය වංචනික ගිණුම් වෙත ද හුවමාරු කර ඇත.
පෑලියගොඩ ත්‍රීවීල් එකෙන් අසුවූ මෙම මහා ජාවාරමේ නූල ලිහෙන්නට පටන් ගත්තේ පෑලියගොඩ ප්‍රදේශයේදී රුපියල් මිලියන 30ක අත්පිට මුදල් රැගත් ත්‍රිරෝද රථයක් කොටුකර ගැනීමත් සමඟය.
ලොක්කන් කොටු වෙයි මේ වන විට NDB බැංකුවේ ගෙවීම් සහ පියවීම් අංශයේ සහකාර කළමනාකරු, ඔහුගේ තාක්ෂණික ව්‍යවසායක සහෝදරයා සහ බැංකුවේ තොරතුරු තාක්ෂණ පොදු කළමනාකරු (GM – IT) ඇතුළු 16 දෙනෙකු රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇත.
ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 60ක් දැලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මේ වන විට බැංකුවේ ඉහළම කළමනාකාරීත්වයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුළු 60 දෙනෙකු පිළිබඳව සමීප නිරීක්ෂණ අරඹා ඇත.
(TheLeader.lk) ලිපියක් ඇසුරෙන්




