spot_img
spot_img

වයඹ තැනූ හිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මැතිතුමන්ගේ 84වන ජන්ම සමරුව

හිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මැතිතුමන්ගේ 84වන ජන්ම සමරුව පෙරේදා දිනයේ යෙදී තිබුණා. පුරා වසර 15 තිස්සේ නොකඩවා එතුමන්ගේ ජන්ම දිනය වෙනුවෙන් කුරුණෑගල, මාහොලව එතුමන්ගේ නිවසේ ආගමික වතාවත් සිදු කළ අතර එතුමා ගේ අභාවයෙන් පසුත් එය නොකඩවා සිදුකරණු ලැබුවේ එතුමාණන්ගේ පුත් එක්සත් ජාතික පක්ෂ කටුගම්පල ආසනයේ කලාප සංවිධායක,කුරුනෑගල දඹදෙණිය ආසනයේ එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක කටයුතු සම්බන්ධීකාරක, හිටපු වයබ පළාත්සභා මන්ත්‍රී අසංග පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන්.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ සත් කෝරලයේ කටුගම්පොල හත්පත්තුවට අයත් කටුවැල්ලේගම හා ගිරිඋල්ල නගරයන් ප්‍රධාන කොට අලි ඇතුන් හිමිකාරිත්වය ඇතුව විසු ඉඩම් හිමි වැවිලි කරුවකු හා ප්‍රභූ පන්තියේ ධනවතෙකු වූ පවුලිස් පෙරේරා හා සෝමා පෙරේරා යන දම්පතීන්ට දාව සොහොයුර සොහොයුරියන් හත් දෙනෙකුගේ පවුලේ දෙවන පිරිමි දරුවා ලෙස 1941 ජනවාරි 29 වන දින මෙළොව උපත ලැබූ ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා උපතින්ම සැප සම්පත් වලින් පිරි ඉතිරි ගිය අයෙකු වූවේය. මේ වන විට සිය 83 වන උපන් දිනය සමරණ ඒ මහතා බෝපිටිය කණිෂ්ඨ විද්‍යාලයෙන් (වර්තමානයේ මහා විද්‍යාලයකි ) මූලික අධ්‍යාපනය ලබා උසස් අධයාපනය සදහා ඔහුගේ දෙමාපියන්ගේ පෙළඹවීම නිසා කොළඹ නාලන්දා මහා විද්‍යාලයට ඇතුලත් විය. පසුව ඔහු නාලන්දා මහා විද්‍යාලයේ කීර්තිමත් ම සිසුවකු වු අතර නායකත්වයට ද පත්විය. ඔහුගේ නායකත්වය යටතේ 1960 වර්ෂයේ දී නාලන්දා මහා විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිකට් තරග වලදී විද්‍යාලයට මහත් කීර්තියක් අත්පත් කර දීමට සමත් විය. එම විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නායකතවය පිළිවෙලින් ජයවික්‍රම පෙරේරා මහතාගේ වැඩිමහල් සොහොයුරු නැසී ගිය ලින්කන් පෙරේරා මහතා (වැවිළි කර්මාන්ත අමාත්‍යාංශයේ හිටපු ලේකම් ) 1952 වසරේත් 1960 වසරේ ජයවික්‍රම පෙරේරා මහතාත් 1962 වසරේ ඔහුගේ බාල සොහොයුරෙකු වූ අශෝක පෙරේරා මහතාත් හෙඹ වූ අතර එකම පවුලේ සොහොවුරන් තිදෙනෙකු නාලන්දා මහා විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත්වීම එම විද්‍යාල ඉතිහාසයට එක්කළ නව වාර්තාවක් වී ඇත.
පාසල් සමයේ දී කොළඹ එකම ප්‍රදේශයක නේවාසිකව සිට ගතකල යුගයේ ඔහුගේ සමකාලීනයන් අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ප්‍රවීණ ක්‍රීඩා විචාරක ප්‍රේමසිරි ඈපාසිංහ මහතා, ප්‍රවීන ගීත රචකයකු මෙන්ම ගුවන් විදුලි නිවේදකයකු වූ කරුණාරත්න අබේසේකර මහතා, වාමාංශික කදවුරේ දේශපාලඥයකු වු ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා වැනි දිවයිනේ ප්‍රසිද්ධ පුද්ගලයන් ද විය.
එම අවධියේ දී විද්‍යාලයේ මනා හික්මීමත් මනා සංයමයක් ඇති සිසුන් අතරින් මුදල් විය පැහැදම් කිරීමට හැකියාව තිබූ තරුණ සිසුන් කිහිප දෙනෙකු එවකට විදයාලයේ ගුරුවරයෙකු ලෙස සේවය කල වර්තමානයේ සර්වෝදය ව්‍යාපාරයේ නායක ආචාර්ය ඒ. ටී. ආරියරත්ත මහතාගේ අවධානයට යොමු වීය. එහිදී හදුනාගනු ලැබූ සිසුන් පිරිස අතරට ගාමිණි ජයවික්‍රම පෙරේරා සිසුවාද අයත් විය. මස් මාළු අනුභවයෙන් තොර සුරාවට හා සුදුවට තිත තබා දුම්වැටියක්වත් උරා නොබොන අහිංසාවාදි පිළිවෙතක ගමන් කිරීම එම යුගයේ ධනවත් පවුලක තරුණයෙකුට ඉතා දුෂ්කර කාර්යයක් වුවද ගාමිණී ජයවික්‍රම පෙරේරා සිසුවා මේ සැම දුෂ්චරිතයකින් ම ඉවත් වූ විශිෂ්ට ගණයේ සිසුවකු වීම අනාගත රටේ භාග්‍යයක් කොට සැලැස්විමට දුර දක්නා නුවණක් තිබූ ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතාට හැකි
විය.
ඒ.ටී.ආරියරත්න මහතාගේ පුරෝගාමිත්වයෙන් සර්වෝදය ව්‍යාපාරය දිනෙන් දින රටට වැඩදායි සුවිශේෂි කාර්යභාරයක නියැලෙමින් පැවති එම අවධියක් විය. එවකට ප්‍රදේශයේ ප්‍රසිද්ධියට පත් අධ්‍යාපන තක්ෂිලාවක් වූ නැදලගමුව ධර්මරාජ පිරිවෙන හා එහි පරිවෙනාධිපති පණ්ඩිත පූජ්‍යපාද නැදළගමුවේ ජිනානන්ද නාහිමියන් පෙරටු කරගත් ආචාර්ය ඒ.ටී.ආරියරත්න මහතා පන්නල ප්‍රදේශයේ නැදලගමුව යායමුල්ල ග්‍රාමයේ වැසිකිලි අහිමි පවුල් සදහා වැසිකිලි ඉදිකර දිමේ ව්‍යාපෘතියක් ආරඹන ලදී. මේ සදහා ශ්‍රමිකයින් සොයා දුන්නේ නැදලගමුවේ ජිනානන්ද මාහිමිපාණන් විසිනි. එය මෙහෙයවනු ලැබූවේ නාලන්දා මහා විද්‍යාලයෙන් තරුණ සිසුන් සමග පැමිණි ජයවික්‍රම පෙරේරා තරුණයාය
එවකට දුෂ්කර ගම්මාන වූ ප්‍රදේශ වල පිහිටි නිවෙස්වල වැසිකිලි තිබූනේ ඉතා අතලොස්සකි. මේ හේතුවෙන් එය විශාල පරිසර සෞඛ්‍ය ගැටළුවක් ද වී තිබුණි. එම නොදියුණු වකවානුවට ගැලපෙන මෙවැනි සමාජ ශීලි ව්‍යාපෘති ජයවික්‍රම පෙරේරා තරුණයා සිය ධනය හා කාලය වැය කරමින් ආරම්භ කිරීමේ දී සර්වෝදයේ මූලික හරය ප්‍රදේශිය පුරා සීඝ්‍රයෙන් පැතිරෙන්නට විය. සමහර අවස්ථාවල මෙම කැපවීම තම පියාගේ දෝෂ දර්ශනයට ලක්වූ අවස්ථා නැති වූවා නොවේ යැයි ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගෙන් අප අසා ඇත.
එම යුගයට ගැලපෙන මහා පරිමාණයේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් සර්වෝදය මගින් 1958 වර්ෂයේ දී පඩුවස් නුවර පිහිටි කණතොළුව වැවෙන් ආරම්භ කර එය දිර්ඝ කිරිමක් ලෙස 1960 දශකයේ අග භාගයේ දී විශාල ශ්‍රමදාන වැඩ කදවුරක් පවත්වා සම්පුර්ණ වැවේ රොන්මඩ හා පාසි ඉවත් කර කුඹුරු ගොවිතැන් සදහා ජලය රැස් කිරීමට ඉඩ සලසාදීම එවකට විශාල ජනාදරයට පත් වූ ප්‍රචාරක වැඩ සටහනක් වුයේය. සුරාවෙන් තොරව පැවැත් වු මෙම ශ්‍රමදාන වැඩ කදවුර ප්‍රදේශය පුරා ජනතාවගේ ඉමහත් ඇගයීමට ලක් වූ බව ප්‍රචලිතය.
1970 දශකයේ මුල් වකවානුව තුල කටුගම්පොල මැතිවරණ කොට්ඨාශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වූයේ පාර්ලිමේන්තුවේ කතානායතවරයෙකු. කැබිනට් අමාත්‍යවරයෙකු හා විදේශ තානාපතිවරයෙකු වූ මහත්මා ගති පැවතුම් වලින් පිරි අවංකත්වයේ ප්‍රතිමූර්තියක් බඳු වූ ටී.බී. සුබසිංහ මහතාය. ඔහු එංගලන්තයේ ( OXFORD ) සරස වියේ ආදි ශිෂ්‍යයෙකි. තවත් විශේෂයක් වූයේ ලංකා සමූපකාර හා ග්‍රාමීය බැංකු ව්‍යාපාරයේ නිර්මාතෘ වූ මහජන බැංකුවේ පළමු සභාපති තනතුර හෙබ වූ ලංකා ගාන්ධි නමින් ගරු නම්බුනාමයකින් හැදින් වූ ශ්‍රීධර වින්සන් සුබසිංහ මහතා, ඔහුගේ වැඩිමහල් සොහොයුරා වීමයි. ටී. බී. සුබසිංහ මහතා සමග එවකට කරට කර දේශපාලන සටනකටවෙනත් පක්ෂයකින් ප්‍රතිවාදියෙකු සොයා ගැනීම අති දුෂ්කර කාර්යයක් විය.
පාර්ලිමේන්තු මැතිවරණයකදී කටුගම්පොල ආසනය සදහා තරග කිරීමට ඉතාමත් ජනප්‍රිය චරිතයක් වූ ගාමිණී ජයවික්‍රම පෙරේරා තරුණයා යොදා ගැනීම සුදුසු බව බව මේ දිනවල රාවයක් පැතිරින. එම පුවත ඉතා කෙටි කලක් තුලදී සැල වූ ජයවික්‍රම පෙරේරා මහතාගේ මැණියන් හා භාර්යාය වූ රොහිණී පෙරේරා මහත්මිය දැඩිව තම විරෝධය පලකල අතර එම කරුණ සදහා සාකච්ඡාවකටවත් එතුමන් නොයැවීමට කටයුතු සලස්වන ලදී. තම ධනය වැයකර දේශපාලනයේ නියැලීම ඔවුන් තරයේ ප්‍රතික්ෂේප කලේය. කෙසේ හෝ දැඩි මත භේදයක් තිබී එවකට විපක්ෂනායක ඩඩ්ලි සේනානායක මැතිදුන්ගේ හා ජේ. ආර්. ජයවර්ධන මැතිතුමන්ලාගේ බලවත් ඉල්ලීමකට අනුව කාලය අවෑමෙන් පවුලේ එකගත්වය ඇතිව ගාමිණී ජයවික්‍රම පෙරේරා තරුණයා කටුගම්පොල ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක තනතුර සදහා එකගත්වය පලකර ඇත. 1977 පාර්ලිමේන්තු මහා මැතිවරණයේ දී දිවයිනේ වාමාංසික බලකොටුවක් වූ කටුගම්පොල ආසනය වැඩිම ඡන්ද සංඛ්‍යාවක් වූ 23475 ක් ගෙන ජයග්‍රහණය කිරීමට ගාමිණි ජයවික්‍රම පෙරේරා තරුණයාට හැකිවීම දේශපාලන ඉතිහාසයට නව පරිච්ජේදයක් එකතු වීමක් සේ සැලකිය හැකිය.
1977 පාර්ලිමේන්තුවට පත් වූ නවක තරුණ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුගම්පොල මැතිවරණ කොට්ඨාශයට අති විශාල සේවාවක් ඒ මහතා ඉටු කල අතර අභාවයට යමින් තිබූ සදලංකා සමුපකාර රෝහල රජයට පවරාගෙන කාර්යක්ෂම රෝහලක් කිරීම. ප්‍රවාහණ පහසුකම් පවා අපහසු ආසනයේ එක් කෙලවරක මායිමේ පිහිටි කදානේ ගෙදර තිබූ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය පන්නල සෞඛ්‍ය වෛදය නිළධාරි කාර්යාලය නමින් ඇලබඩගම නගරයට ගෙන ඒම, නෙස්ලේ කර්මාන්ත ශාලාව මාකදුරේ ආරම්භ කිරීම, නිමි ඇඳුම් කම්හලක් වූ සිම්ලයින් ” කර්මාන්ත ශාලාව ඇලබඩගම පිහිටු වීම, තම ඥාතින් හා හිත මිතුරන් පවා අමනාපකරගෙන ඔවුනගේ ඉඩම් රජයට පවරා ගෙන ගිරි වුල්ල නගරයේ ඇති, කොළඹ ප්‍රධාන පාසල් ගණයට ම උසස් තාක්ෂණයෙන් ද අධ්‍යාපනයෙන් ද තෝතැන්නක් වූ වික්‍රමශිලා මධ්‍ය මහා විද්‍යාලය ආරම්භ කිරීම, මාකදුර පිහිට වූ කෘෂිකර්ම පර්යේෂණ ආයතනය හා කෘෂි විශ්ව විද්‍යාලය ආරම්භ කිරීම, ගිරිඋල්ල ලංගම බස් විපෝව පිහිටුවීම මේ අතර ප්‍රමුඛත්වයක් ගනී.
1978 වර්ෂයේ දී කුරුණෑගල දිසා ඇමැතිවරයා වශයෙන් පත්විමක් ලද ඔහු ලෝක බැංකු ප්‍රතිපාදන යටතේ කුරුණෑගල දිස්ත්‍රික් ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිය කුරුණෑගල දිස්ත්‍රික්කය තුල ම ක්‍රියාත්මක කරමින් ග්‍රාමිය මාර්ග, වැවි අමුණු, පාසල් ගොඩනැගිලි හා ක්‍රීඩාපිටි, පොල් හා අපනයන කෘෂිකර්ම සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කරවමින් නොදියුණු ගම්මාන වලට නව පිබිදීමක් උදා කලේය. එය සමස්ත දිවයිනේම අවධානයට ලක්විය.
13 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනයට අනුව පිහිට වූ පළාත් සභා ක්‍රමය තුල පළමු පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්විමට සිය කැමැත්තෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වූ ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා වයඹ පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කැපවීමෙන් යුතුව ඉටුකල සේවාව සදා අනුස්මරණීය වේ. දේශීය මෙන් ම විදේශිය ආධාර යටතේ සංවර්ධන ව්‍යාපෘති වයඹ පළාත තුල ආරම්භ කල සංවර්ධනය නිසා එම වකවානුවෙන් සාර්ථකම ආදර්ශමත් පළාත් සභාව ලෙස තේරී පත් වූ බව අවිවාදයෙන් යුතුව සදහන් කල හැකිය.
ජය වික්‍රම පෙරේරා මහතාගේ සංකල්පයක් මත කුමාර දේවපුර මහතාගේ අනුග්‍රහයෙන් දොඩම්ගස්ලන්ද ආසනයේ කරදගොල්ල ඇගුලුම් කම්හලක් ආරම්භ කල අතර එය නිරීක්ෂණය කිරීමට පැමිණි රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා එම සංකල්පය අගයමින් සමස්ත දිවයින පුරා ඇගුලුම් කම්හල් 200 ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී.එම වැඩ සටහන වර්තමානයේ දී අප ඉදිරියේ තිබේ. තව ද එම වකවානුවේ දී වයඹ පළාතට නව සංකල්ප හදුන්වා දෙමින් වයඹ ජනකලා කේන්ද්‍රය පිහිටුවා පාරම්පරික අත්කම්වලට හා සංස්කෘතියට ඉටුකල සේවය ඉමහත්ය. රුක් රෝපණ වැඩ සටහන් තුලින් වයඹ පළාත් මංමාවත්තුල රෝපණය කල ගස් අදාල මුලු මාර්ගය දෙපස සෙවන දෙමින් එහි අභිමානය විදහා දක්වයි.
ඔහුගේ නිජබිම සංකල්පය (නිවහල් ජන සමාජයක් බිහිකිරිමේ මග) යටතේ කජු ගම්මාන, අඹ ගම්මාන, එළු ගම්මාන වැනි ව්‍යාපෘති නොදියුණු ගම්මාන වල ආරෙම්භ කල අත. වර්තමානයේ එම ගම්මාන වල වෙසෙන ජනතාවගේ ආර්ථික මර්මස්ථාන බවට පත් වී ඇත.
ඉබ්බාගමුව හා මාදම්පේ මධ්‍ය මහා විද්‍යාවලින් ක්‍රීඩා පාසල් සංකල්පය ක්‍රියාත්මක කලේ ජයවික්‍රම පෙරේරා මහතා විසිනි. ඒ තුලින් ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් ක්‍රීඩකයින් බිහි වී ඇත. ශ්‍රියානි කුලවංශ ද එවැන්නියකි.
කොළඹ රාජකීය විද්‍යාලයට සමාන විද්‍යාලයක් කුරුණෑගල නගරයේ වයඹ රාජකීය විද්‍යාලය නමින් අලුකෙන් ආරම්භ කල අතර, එම විද්‍යාලය අද ජාතික අධ්‍යාපනයේ පෙරලිකාර විද්‍යාලයක් බවට පරිවර්තනය වී ඇත
වයඹ කර්මාන්ත සේවා කාර්යාංශය පිහිටුවනු ලැබුවේ ඒ මහතාය. එමගින් කර්මාන්ත සදහා නව තාක්ෂණය හදුන්වා දෙමින් නව රැකියා වෙළඳ පොළක් නිර්මාණය කිරීමට සමත්විය.
කුරුණෑගල නගරයේ විල්ගොඩ පිහිට වූ උසස් තාක්ෂණ ආයතනය තාක්ෂණය පිරිණු බුද්ධිමත් තරුණ තරුණයන් රටට දායාද කරන ආයතනයක් වේ ඇත.
වයඹ යන්ත්‍රෝපකරණ අධිකාරිය. වයඹ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය, වයඹ පළාත් පරිසර අධිකාරිය වැනි ආයතන රාශියක් ආරම්භ කල එතුමාගේ සංකල්ප ජාතික මට්ටමට දකම්පණයක් ඇති කිරීමට සමත් වී තිබේ.
පසුකාලීනව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යවරයා ලෙසත් වාරිමාර්ග හා ජල කලමනා කරණ ඇමැතිවරයා ලෙසත් වන ජීවි හා තිරසාර සංවර්ධන අමාත්‍යවරයා ලෙසත් වයඹ සංවර්ධන හා බුද්ධ ශාසන අමාත්‍යවරයා ලෙසත් කැබිනට් අමාත්‍ය තනතුරු ගණනාවක් දරමින් මුලු මහත් රටට විශාල ජාතික සේවාවක් සිදු කල ඔහුගේ එම නිර්මාණශීලී ක්‍රියාමාර්ග එක් එක් වකවානුවලදී ඒ ඒ රාජ්‍ය නායකයන්ගේ ප්‍රසාදයට පත්විය. බුද්ධ ශාසන අමාත්‍යාංශයේ බුදුපුත් සුරක්ෂා රක්ෂණ ක්‍රමය ද එවැන්නකි. දිවයිනේ නන් දෙස වැඩ වෙසෙන බෞද්ධ භික්ෂූන් වහන්සේලාටත් උන්වහන්සේලාගේ ආදරණීය දෙමාපියන්ටත් එමගින් සැලසුන සඟනය මිල කල නොහැක්කකි.
මේ වකවානුවේ දේශපාලන කටයුතු වලින් බැහැරව ජීවිතයේ සැදෑ සමය ගත කරන එතුමා සෑම පසළොස්වක පෝය. දිනකම පොළොන්නරුව සෝමාවති පුදබිම වෙතට පිය නගමින් එහි සංවර්ධන කටයුතු වල නියමුවා ලෙස විශාල ශාසනික මෙහෙවරක් ඉටුකරයි.පසුගිය යුධ සමයේ වල්බිහි වි තිබු එම පුදබිම යථා තත්ත්වයට ගෙන ඒම සදහා මැදිහත් වූයේ ද එතුමාය. මිනිස් සමාජයට මෙන්ම සතා සිවුපාවට ගහ කොළවලට ඉමහත් ආදරය දක්වන මෙතුමා උපතින්ම පරහිතකාමියෙක් ලෙස සැලකිය හැකිය.
පසුගිය භීෂණ සමයේදී ජන ජිවිතය සුරක්ෂා කිරීමට පෙරමුන ගෙන කටයුතු කිරීම හේතුවෙන් එතුමන්ගේ ජීවිතයට මරණ තර්ජන පවා එල්ල විය. වරෙක එතුමාගේ ජිවිතය විනාශ කිරීම සදහා කියා කල නොමග ගිය කරුණයින් පිරිසක් ආරක්ෂක අංශවල අත්අඩංගුවට පත් වූ අවස්ථාවේ දී ඔවුන් පුනරුත්ථාපන තදවුරකට යොමු කර ඔවුන්ගෙන් කරුණු විමසා ඔවුන්ව නිදහස් කිරීමෙන් පසුව ඔවුන්ට රැකියා අවස්ථා ලබා දීමට පවා එතුමා කාරුණික විය.
ආදර්ශමත් ජනහිතකාමී මේ උදාර අභීත පුද්ගලයා දේශපාලනය හා තනතුරු දඩම්මා කර ගනිමින් මුදල් හරි හම්බ කිරීම කිසිසේත් නොකල බව අද මුලු රට ම හොදින් දන්නා කරුණකි.
එතුමා විසින් මෙම සමාජයට ඉටුකල උදාර මෙහෙවර සිහිපත් කරමින් චිර ජීවනය ප්‍රාර්ථනය කිරීම කෘතවේදී මිනිසුන් වූ අප සියළු දෙනාගේ යුතුකමකි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...