ජනාධිපතිවරණයට තරඟ වදින අපේක්ෂකයන්ගෙන් 90%ක්ම ඉදිරිපත්ව සිටින්නේ ජයග්‍රහණය නොව වෙනත් පෞද්ගලික අරමුණු සහ බලාපොරොත්තු ඉටුකර ගැනීමට බවට පෙනී යන බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසනවා.
එම සංවිධානයේ නිරීක්ෂණ සංවිධාන ප්‍රකාශකයෙක් පැවසුවේ ආණ්ඩුකාර ධූර, සංස්ථා සභාපතිකම් ඇතුළු විවිධ තනතුරු ලබා ගැනීම, විදේශ සංචාරවලදී ඉහළ පිළිගැනීම් ලබා ගැනීම, තානාපති තනතුරු ඇතුළු රාජ්‍යතාන්ත්‍රික තනතුරු ලබාගැනීම, මීළඟ මහ මැතිවරණයේදී තරඟ වැදීමට ජන පදනම සකස් කර ගැනීම, පිළිගත් දේශපාලන පක්ෂවලට සූක්ෂම ලෙස ඇතුළුවීම සහ ඒවායේ නිලතල ලබා ගැනීම, මාධ්‍යයන්හි වෙන් කෙරෙන ගුවන් කාලය පාවිච්චි කරමින් ප්‍රධාන අපේක්ෂකයන්ට කෙලින්ම හෝ අනියමින් සහාය දැක්වීම සහ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියක් ලබා ගැනීම යනාදී කාරණා මෙම අපේක්ෂකයන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අරමුණු අතර වන බවයි.
මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 39 දෙනෙක් ඉදිරිපත්ව සිටින අතර මින් වැඩි පිරිසක් ව්‍යවසායකයින් මෙන්ම දැනට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු සහ හිටපු මන්ත්‍රීවරුන් වනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසන්නේ අපේක්ෂකයන් විශාල වශයෙන් ඉදිරිපත්වීමෙන් වැඩිවන සෑම අපේක්ෂකයකු වෙනුවෙන්ම කෝටි දෙකකට ආසන්න මුදලක් වැය කිරීමට සිදුවන බවයි.




