කුරුණෑගල ශික්ෂණ රෝහලේ වකුගඩු ගල් ඉවත් කිරීමේ ලේසර් ප්‍රතිකාර සඳහා භාවිත කරන ආරක්ෂිත ඇඳුම් කට්ටල සියල්ල කල් ඉකුත් වීම හේතුවෙන් එම ශල්‍යකර්ම දැන් සති කිහිපයක සිට දින වකවානුවක් නොමැතිව කල් දමා ඇති බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා.
සමස්ත ලංකා හෙද සංගමයේ උප සභාපති සංජීව මුණසිංහ මහතා පවසන්නේ වකුගඩුවල හටගන්නා ගල් සඳහා සිදුකරන ප්‍රතිකාර ක්‍රම අතරින් ලේසර් කිරණ භාවිත කරමින් එම ගල් පුලුස්සා දැමීම පහසු හා කඩිනම් ශල්‍යකර්ම ක්‍රමයක් වන අතර එම ශල්‍යකර්මය සඳහා විශේෂයෙන් සකස් කළ ආරක්ෂිත ඇඳුම් කට්ටල භාවිත කරන බවයි.
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ඇති එම ආරක්ෂිත ඇඳුම් කට්ටල සියල්ල මේ වනවිට කල් ඉකුත් වී බැවින් රෝහල් කාර්ය මණ්ඩලය එම ඇඳුම් භාවිත කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙසේ වකුගඩු ලේසර් ප්‍රතිකාර ඇණහිට ඇති බව මුණසිංහ මහතා පවසනවා.
කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් වකුගඩු ගල් සඳහා ලේසර් ප්‍රතිකාර ලබා ගැනීමට ගල්ගමුව, ගිරිබාව, මහව, නිකවැරටිය ඇතුළු ප්‍රදේශ රැසකින් දහස් ගණනක් රෝගීන් පැමිණෙන අතර එක් දිනක් තුළ රෝගීන් හය දෙනකුට ලේසර් ප්‍රතිකාර කිරීමේ පහසුකම කුරුණෑගල රෝහලේ පැවැති බව ද මුණසිංහ මහතා සඳහන් කළා.
මෙම තත්ත්වය යටතේ දැන් සති දෙකක පමණ සිට කිසිදු ලේසර් ශල්‍යකර්මයක් සිදු නොකළ බවත් ඒ සඳහා පොරොත්තු ලේඛනයේ සිටින සිය ගණනක් රෝගීන්ට ඉදිරි දිනයක් ලබා දීමට හෝ රෝහල් බලධාරීන් අපොහොසත් වීම හේතුවෙන් එම රෝගීන් අසරණ තත්ත්වයට පත්ව ඇති බවත් සංජීව මුණසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.




