මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාග වන, ආසිරි පෞද්ගලික රෝහල විසින් වැඩි මිලට ඖෂධ විකිණීමට අදාළ නඩුවේදී, එය හදිසියේ විභාගයට ගෙන තීන්දුවක් ලබා දුන් වැඩබලන මහේස්ත්‍රාත්වරිය එම රෝහලට වාසිදායක ලෙස තීන්දුවක් ලබා දී වෘත්තීය විෂමාචාරයක් සිදු කළේ ද යන්න සෙවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව විමර්ශනයක් අරඹා තිබෙන බවට වාර්තා වනවා.
මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ අගතියට පත් පාර්ශ්වය විසින් අධිකරණ සේවා කොමිෂන් සභාවට කරන ලද පැමිණිල්ලක් අනුව බවයි සඳහන් වන්නේ.
ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය පෙබරවාරි 23 වැනි දින නඩුව කැඳවීමට දින නියම කර තිබිය දී, ඇය රාජකාරි නිවාඩු ගෙන සිටි පෙබරවාරි 17 වැනිදා විත්තියේ නීතිඥවරයෙක් වන ධනුෂ්ක වීරසිංහ විසින් මෝසමක් මාර්ගයෙන් අගතියට පත් පාර්ශ්වය රහිතව නඩුව කැඳවා ගෙන තිබෙනවා.
එහිදී ලබා දුන් තීන්දුව පසුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගේ විස්මයට පවා හේතුවි තිබෙනවා.
අගතියට පත් පාර්ශ්වයේ සනත් අතුකෝරල විසින් කොමිසම වෙත කළ පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ වැඩබලන මහේස්ත්‍රාත්වරිය ලබා දී ඇති තීන්දුව ඖෂධ නියාමන අධිකාරී පණත අනුව සම්පූර්ණ දෝෂසහගත බවයි.
එසේම මෙම වැඩබලන මහේස්ත්‍රාත්වරිය වන හිමාලි ඒකනායක සහ විත්තියේ නීතිඥවරයෙකු වන ධනුෂ්ක වීරසිංහ එකම නීතිඥ කණ්ඩායමක සාමාජිකයන් බව ඔහු එහිදී වැඩිදුරටත් චෝදනා කර සිටිනවා.
මෙලෙස වැඩබලන මහේස්ත්‍රාත්වරිය එක් පාර්ශ්වයකට වාසිදායක තීන්දුවක් ලබා දෙමින් වෘත්තීය විෂමාචාරයක් සිදු කර ඇත්දැයි සෙවීමට අධිකරණ කොමිෂන් සභාව විසින් විමර්ශනයක් ආරම්භ කර අති බවයි වාර්තා වන්නේ.




