Tuesday, April 21, 2026
spot_img
spot_img

අවුරුද්දක් තුළ බාලවයස්කරුවන් 683ක් ගෘහ සේවයට රට ගිහින් – කෝප් කමිටුවේ දී හෙළි වෙයි

නියාමන කාර්යය වෙනුවෙන් ස්ථාපිත කර ඇති ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය ව්‍යාපාරයක් ස්වරූපයෙන් කටයුතු කොට ඇති බව පැහැදිලි වන බව කෝප් කමිටුව පෙන්වා දුන්නේය. මෙම ආයතනයේ පසුගිය කාලසීමාවේ ක්‍රියා කලාපය පිළිබඳ පරීක්ෂාකර බැලීමේදී මේ බව පැහැදිලි වන බව කෝප් කමිටුව අවධාරණය කළේය.

මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ ශ්‍රී ලංකා විදේශ සේවානියුක්ති කාර්යංශයේ 2022 සහ 2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (27) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී නේවාසික පුහුණුවක් ලබා නොදී ගෘහ සේවිකාවන් 28165 ක් පළමුවරට විදේශගතකිරීම හේතුවෙන් රු. 631,177,650/= ක පුහුණු ආදායමක් කාර්යංශයට අහිමි වී ඇති බව අනාවරණය විය. රුපියල් 22410 ක ගාස්තුවක් අයකර දින 28 නේවාසික පුහුණුවක් පැවැත්විය යුතුව තිබුණද මෙම පුහුණුව ලබාදීම සිදු කොට නැති බව මෙහිදී අනාවරණය වූ අතර එම පුහුණුව වෙනුවට භාෂා පරිවර්තකයින් තිදෙනෙක් යොදාගනිමින් දිනකට 390 දෙනෙකු පමණ සම්මුඛ පරීක්ෂණයට ලක් කොට ඇති බව මෙහිදී හෙළි විය. මෙම සම්මුඛ පරීක්ෂණයද වීඩියෝ පටයක් පරීක්ෂා කිරීම මගින් පමණක් සිදු වී ඇති බවද මෙහිදී අනාවරණය වූ අතර මෙම අපරික්ෂාකාරී තත්ත්වය නිසා 2023 මැයි සිට 2024 ජුනි දක්වා බාල වයස්කරුවන් 683ක් ගෘහ සේවය සඳහා විදේශගතවී ඇති බවද අනාවරණය විය.

එසේම ගාල්ල දිස්ත්‍රික්කයේ පැවති වැඩසටහනකට රු. 170,000 බැගින් වෙළඳ කුටි 30ක් කුලියට ගෙන ඇති බවත් එම ආයතනයෙන්ම යාපනය දිස්ත්‍රි‍කයේ පැවති වැඩසටහනකට වෙළඳ කුටියක් කුලියට ගැනීමේදී රු. 500,000/=ක් ගෙවා ඇති බව මෙහිදී අනාවරණය විය. මෙම මිලට වෙළඳ කුටි 25ක් රු. 12,500,000කට මිලදීගෙන ඇති බව මෙහිදී හඳුනාගැනුණු අතර අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ලැබුණු නිර්දේශ අනුව මෙම ගෙවීම් සිදු කළ බව පැමිණි නිලධාරීහු පෙන්වා දුන්හ.

තවද ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන වෙනුවෙන් මුලු වියදම රුපියල් බිලියන 1.2ක් වූ බව මෙහිදී සඳහන් වූ අතර මේ සඳහා ගෙවීම් සිදු කර ඇත්තේ නිවැරදි ක්‍රියාවලීන් අනුගමනය කරමින් බව නිලධාරීහු පෙන්වා දුන්‍හ. මෙම වියදම රුපියල් මිලියන 500ට වැඩි බැවින් කැබිනට් අනුමතිය අවශ්‍ය බවත් එම අනුමතිය ලැබී ඇති බව නිලධාරීන් පෙන්වා දෙන නිසා මේ සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් සොයා බැලීමට කටයුතු කරන බව විගණකාධිපතිවරයා මෙහිදී පැවසීය.

එසේම සංචාරක වීසා මත ගෘහ සේවිකාවන් විදේශගත කිරීමට ලියාපදිංචි බලපත්‍රලාභීන්ට අනුමතිය දී ඇති බව මෙහිදී අනාවරණය වූ අතර මෙය ආයතනයේ වගකීම මුලුමනින්ම පැහැරහැරීමක් බව කෝප් කමිටුව පෙන්වා දුන්නේය. 2023 මාර්තු 30 අංක 07/2023 දරන සභාපති චක්‍රලේඛයක් මගින් එක්සත් අරාබි එමීර් රාජ්‍යට සහ ඕමාන් රාජ්‍යට සංචාරක ගිවිසුමක් නොමැතිව මෙම ගෘහ සේවිකාවන් විදේශගත කොට තිබූ අතර ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීම සහ වගවීම පිළිබඳ මෙහිදී කමිටුව විසින් නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය. මෙලෙස සංචාරක වීසා මත 4942ක් විදෙස්ගත වී තිබූ අතර ඉන් වැඩි ප්‍රමාණයක් රැකියාවන් ලබාදුන් බවට අදාළ ලියකියවිලි තානාපති කාර්යාලයේ පරිගණක දත්ත පද්ධතියට උඩුගතකොට නැති බවද මෙහිදී අනාවරණය විය.

තවද මෙහිදී විදේශ රැකියා සඳහා පිටව ගොස් විවිධ ගැටලුවලට මුහුණදුන් විගමණිකයන් තාවකාලිකව රඳවාගැනීම සඳහා රැඳවුම් නිවාස පවත්වාගෙනයාම සම්බන්ධයෙන්ද, මෙම ආයතනයේ පත්වීම් සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරුණි.

මීට අමතරව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ සම්බන්ධ විමර්ශනයන් සඳහා කෝප් අනු කමිටුවක් පත්කිරීමට කටයුතු කරන බවද කෝප් කමිටුවේ සභාපතිවරයා මෙහිදී පැවසීය.

මෙම කාරක සභා රැස්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.කේ.එම්. අස්ලම්, සමන්මලී ගුණසිංහ, කෝසල නුවන් ජයවීර, සුජීව දිසානායක, (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා, ජගත් මනුවර්ණ, රුවන් මාපලගම, සුනිල් රාජපක්‍ෂ, ධර්මප්‍රිය විජේසිංහ, අසිත නිරෝෂණ එගොඩ විතාන, තිළිණ සමරකෝන්, චන්දිම හෙට්ටිආරච්චි සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...