මීගමුව බන්ධනාගාරය තුළ මෑතකදී ඇති වූ සිදුවීම සුනාමි ව්‍යසනයකට සමාන තත්ත්වයක් බවත්, එම අවස්ථාවේදී සිරකරුවන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා බලධාරීන්ට මානුෂීය පියවරක් ගැනීමට හැකියාව තිබූ බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.
යූටියුබ් නාලිකාවක් සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
2004 සුනාමි ව්‍යසන අවස්ථාවේදී මාතර බන්ධනාගාරය තුළ ක්‍රියාත්මක කළ පියවර සිහිපත් කරමින් ඔහු කියා සිටියේ, එදින බන්ධනාගාර දොරටු විවෘත කර සිරකරුවන්ට පිටතට යාමට අවස්ථාව ලබා දුන් බවයි.
එම ක්‍රියාමාර්ගය ආදර්ශයට ගනිමින් මීගමුව බන්ධනාගාරයේ දොරටු විවෘත කළේ නම් කිසිදු සිරකරුවෙකුගේ ජීවිත හානියක් සිදු නොවන බව ඔහු පෙන්වා දෙයි.
සිරකරුවන්ගේ ජාතික හැඳුනුම්පත් සහ ගමන් බලපත්‍ර තොරතුරු බලධාරීන් සතු බැවින්, ඔවුන්ගේ විදෙස් ගමන් සීමා කිරීමට සහ පසුව නැවත වාර්තා කිරීමට නියෝග කිරීමට පහසුකම් පැවති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.




