යෝජිත කුලී ආදායම් බද්ද මගින් මෙරට ජනතාවගෙන් 90%කට සිදු වන්නේ හිතකර බලපෑමක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
එම බද්දට යටත් වන්නේ 10%ක් තරම් වන ඉහළ ධනවතුන් පමණක් බවද ඔහු සදහන් කළා.
එබැවින් සාමාන්‍ය ජනතාව මෙම බද්ද සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගත යුතු නැති බවටයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.
කැසිනෝ ශාලා සඳහා සිදු කළ බදු සංශෝධනවලට අදාළ නියෝග පිළිබඳ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා අද (19) පාර්ලිමේන්තුවේදී මේ බව පැවසුවා.
බද්දට යටත් වන 10%ක තරම් පිරිසගෙන් අය කර ගන්නා බදු සෙසු 90%ක් වන ජනතාවගේ අවශ්‍යතා සඳහා වැය කරන බවද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
මේ අතර කැසිනෝ ශාලාවලින් නියමිත අයුරින් බදු මුදල අය කරගැනීම සිදුවන්නේ වත්මන් පාලනය යටතේ බව අමාත්‍යවරයා පැවසුවා. ඒ අනුව කැසිනෝ ශාලාවක පිරිවැටුමෙන් 60%ක් රාජ්‍ය ආදායමට එක් කරගැනීමට රජය සමත්වී ඇති බව සියඹලාපිටිය මහතා පෙන්වා දෙයි. මීට පෙර කැසිනෝ ශාලාවලින් අය කර ගනු ලැබුවේ ආදායම් බදු පමණක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ මේ වන විට බලපත්‍ර සඳහා කෝටි 50ක්, වාර්ෂික අලුත් කිරීම සඳහා කෝටි 50ක් සේම පිරිවැටුමෙන් 15%ක් ලෙස කැසිනෝ ශාලාවලින් අය කරන බවයි.
රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම සේම ඇතැම් ව්‍යාපාර අධෛර්යමත් කිරීමත් බදු අය කරගැනීමේ අපේක්ෂාවන් බවද අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ අනුව මේ වනවිට කැසිනෝ සඳහා ලෝකයේ වැඩිම බදු අයකරන රටක් බවට ශ්‍රී ලංකාව පත්වී ඇති බවද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළා




