2026 ජූනි මස 22 වනදා වන අද දින, වාරිමාර්ග අධ්යක්ෂ (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ) ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතා විසින් පසුගිය පැය 24 තුළ දිවයිනේ පවතින වර්ෂාපතන තත්ත්වය සහ ප්‍රධාන ගංගාවල ජල මට්ටම් පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් දිවයිනේ ගංවතුර තත්ත්වයේ වත්මන් ප්‍රවණතාව සැකෙවින් පැහැදිලි කළේය.
පසුගිය පැය 24 තුළ දිවයිනේ සමස්ත වර්ෂාපතන දත්ත සලකා බැලීමේදී වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ දැරණියගල ප්‍රදේශයෙන් වන අතර එය මිලිමීටර 50කට ආසන්න අගයක් ගනී. මීට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රදේශයෙන් මිලිමීටර 40කට ආසන්න සැලකිය යුතු වර්ෂාපතනයක් ද වාර්තා වී ඇත. දිවයිනේ සෙසු බොහෝ ප්‍රදේශවලට මිලිමීටර 25ක හෝ ඊට අඩු සාපේක්ෂව අඩු වර්ෂාපතන තත්ත්වයක් පැවති අතර, ප්‍රධාන වශයෙන් නිල්වලා ගඟ ඉහළ ප්‍රදේශය, ගිං ගඟ ඉහළ ප්‍රදේශය නියෝජනය කරන දෙණියාය, කළු ගඟේ රත්නපුර ප්‍රදේශය සහ මහා ඔයේ ගිරිඋල්ල ප්‍රදේශයට මිලිමීටර 25ත් 30ත් අතර මධ්‍යස්ථ වර්ෂාපතනයක් ලැබී තිබේ.
විශේෂයෙන්ම මෙරට තෙත් කලාපය ආවරණය වන ප්‍රධාන ගංගා ද්‍රෝණි (River Basins) වන ගිං ගඟ, නිල්වලා ගඟ, කළු ගඟ, කැලණි ගඟ, අත්තනගලු ඔය සහ මහා ඔය මෙන්ම ඒවායේ කුඩා උප ද්‍රෝණි ආශ්‍රිතව ද සලකා බැලිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් හෝ ජල මට්ටමේ ශීඝ්‍ර වර්ධනයක් මෙතෙක් වාර්තා වී නොමැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව (Department of Irrigation) සහතික කරයි. පවතින වැසි තත්ත්වය හේතුවෙන් ඇතැම් පහත් බිම් ආශ්‍රිතව සුළු ජල මට්ටම් ඉහළ යෑමක් පෙන්නුම් කළ ද, මහා පරිමාණ හෝ මහා ගංවතුර තත්ත්වයක් (Major Flood) දක්වා එය වර්ධනය වීමේ කිසිදු අපේක්ෂාවක් හෝ අවදානමක් නොමැති බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ (Department of Meteorology) නවතම පුරෝකථනයන්ට අනුව ඉදිරි දිනවලදී ද දිවයිනේ නිරිතදිග කොටසට සාමාන්‍ය වර්ෂාපතන තත්ත්වයක් අපේක්ෂා කරන අතර, ගංගාවල ජල මට්ටම් සහ පවතින ආපදා තත්ත්වයන් පිළිබඳව ඉදිරියේදී ද නිරන්තරයෙන් නිල නිවේදන නිකුත් කිරීමට කටයුතු කරන බව වාරිමාර්ග අධ්යක්ෂවරයා පැවසීය. එම නිසා ගංගා දෙපස සහ පහත් බිම්වල වෙසෙන මහජනතාව අනියත බියක් ඇති කර නොගෙන, රාජ්‍ය ආයතන මඟින් ලබාදෙන නිල තොරතුරු පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙස ද කාරුණිකව ඉල්ලා සිටියි.




