රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ අමාත්‍ය ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන් භාවිතා කළ ‘සුපිරි’ වාහන විශාල සංඛ්‍යාවක් කොළඹ ගාලුමුවදොර පිටියේ මේ වන විට ගාල්කර තිබෙනවා.
කොළඹ පදනම් ආයතනය සහ ලක්සළ අසළ ද තවත් වාහන මේ ආකාරයට ගාල්කර තිබෙන බවයි වාර්තාවන්නේ.
කෙසේවෙතත් ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන විධිමත්ව භාරනොදී තැන් තැන්හි ගාල් කරයෑම පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා.
ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී අද (25) පෙරවරුවේ මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු ඒ බව ප්‍රකාශ කළා.
වසන්ත සමරසිංහ මහතා අද එම වාහන පරීක්ෂා කිරීමෙන් පසුව පැවසුවේ අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව ඒවා පාවිච්චි කළ නිලධාරීන් ගාලු මුවදොර පිටියේ ඇතුළු ස්ථාන කීපයක මෙලෙස නවත්වා ගොස් ඇති බවයි.
මෙම වාහන තොගය සමඟ මෙරට මහජන දේපළ පාවිච්චි කර ඇති ආකරය ප්‍රදර්ශනය වන බවත් අනුර දිසානායක ජනාධිපති නොවුණේ නම් තවමත් එම වාහන පාරේ ධාවනය වන බවත් සමරසිංහ මහතා පවසනවා.
මහජනතාවගේ තෙල් සහ සල්ලිවලින් එම වාහන ධාවනය වූ බවත් ජනාධිපති කාර්යාලයට අයත් වාහන 833 ක තොරතුරු ලේඛණවල ඇති බවයි ඔහු පවසන්නේ.
එම වාහන 833 න් 2022 වසර වන විට 29 ක් අතුරුදහන්ව තිබූ බවත් හිටපු ජනාධිපතිවරු වන රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ සහ චන්ද්‍රිකා කුමාරතුංග යන අය වාහන ගිල දැමුවේ දැයි ගැටලුවත් මතු වන බවත් වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් පැවසුවා.




