තමන්ට අදහස් දැක්වීමට විපක්ෂයේ කාලවේලාව ලබාදීමට විපක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ක්‍රියා කළේ නැතැයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20දා) කීය.
එම නිසා තමන්ට රාජ්‍ය අනුග්‍රහයෙන් කාලය ලබාගෙන අදහස් දැක්වීමට සිදුවූ බවද කී ෆොන්සේකා මන්ත්‍රීවරයා එහිදී සමගි ජන බලවේගයේ ප්‍රධාන නායකයන් දෙදෙනකු ඉලක්ක කර ගනිමින් විවේචනාත්මක ලෙස අදහස් පළ කළේය.
මම අද කතාව පවත්වන්න විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගෙන් වේලාව ඉල්ලුවා. මීට දින තුනකට පෙර, එතකොට එයා මට දුන්නු උත්තරේ තමයි, මට කතා දෙන්න එපා කියලා එතුමාට උපදෙස් ලැබිලා තිබෙනවාලු. ඊළඟට මගෙන් ඔහු ඇහුවා ජනාධිපතිවරණයේ දී මම සජිත් ප්‍රේමදාසට වැඩ කරනවාද කියලා. එහෙම කියලා මට එතුමා වෙලාව දුන්නේ නෑ කතා කරන්න. අපි පාර්ලිමේන්තුවට පත්වුණේ ජනතා ඡන්දයෙන්, මම විපක්ෂයේ ඉන්න දෙවැනියාට වැඩිම ඡන්ද ලබාගත් මන්ත්‍රීවරයා. එක්ලක්ෂ දහතුන්දහසක් මම ඡන්ද ගත්තා.
මට වෙලාව දෙන්න බෑ කියපු කෙනා හැත්තෑදාහයි ඡන්ද ගත්තේ. එක එක්කෙනාට කඩේ ගියොත් තමයි අපිට වෙලාව දෙන්නේ. පසුව මම රාජ්‍ය අනුග්‍රහය ඇතිවයි අද මේ කතා කරන්නේ. විපක්ෂයේ අපිට වෙලාව නොලැබුණත් විපක්ෂයේ එක මිනිහෙක් දවසකට විනාඩි 30ක් විතර කතා කරනව. අපිට ලැබෙන වේලාවත් එක මිනිහෙක් පාවිච්චි කරනවා. අපි ඒ පුද්ගලයාට කඩේ යන්නේ නැති නිසා අපට කතා කරන්න වෙලාවක් දෙන්නේ නෑ.
අපි වැදගත් විදිහටයි දේශපාලනය කරන්නේ. මම අධිවේගී මාර්ගවලින් පගා ගැහුවේ නෑ. එහෙම නැතිනම් මම කොළඹ සිටින කැසිනෝකාරයන් ගෙන්, ජාවාරම්කාරයන් ගෙන් සල්ලි අරගෙන පාසල්වලටයි, ඉස්පිරිතාලවලටයි, බඩු බෙදන්නේ නෑ. මේ වගේ අය රටේ නායකයෝ වෙන්නත් බලාගෙන ඉන්නවා. ජනතාව මේ වගේ අය ගැන දැනුවත් වෙන්න ඕනේ. මේ රට හදන්න හොඳ නායකයෙක් එන්න ඕනෑ. මේ පාර්ලිමේන්තුවත් දූෂිතයි.
මේ සම්බන්ධයෙන් සුළු වේලාවකට පසුව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ අදහස් පළ කළේය.
විපක්ෂ නායකතුමා ගැන විවේචනාත්මක අදහසක් ප්‍රකාශ වුණා. එතුමා මේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක, පාර්ලිමේන්තු සම්ප්රදාය අනුව මුළු රටේ ම ප්‍රශ්න එතුමාට එනවා. ඒ නිසා එතුමා නැඟිටලා කතා කරන්නේ බලහත්කාරයෙන් නොවෙයි. මූලාසනයේ අවසරය ඇතිවයි. කවුරු හරි කියනවානම් එතුමා කාලේ කනවා කියලා ඒක වැරුදියි.
ඒ වගේම මම ගැනත් ව්‍යංගාර්ථයෙන් අදහස් පළවුණා. මමත්, බිරිඳත්, අධිකරණයෙන් විශ්‍රාම යනකොට අපේ බැංකු ගිණුම්වල මිලියන 400ක් තිබුණා. ආදායම් බදුත් ගෙවලා. අපි සමහර වර්ෂවල මිලියන 5න් ආදායම් බදු ගෙවලා තිබෙනවා. මම මගේ වත්කම් ප්‍රසිද්ධ කරලාත් තිබෙනවා. නමුත් ඔය කියන අය තමාගේ වත්කම් ගැන කියන්නේ නෑ.




