එළැඹෙන ජනාධිපතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ වැඩපිළිවෙලට සහාය දැක්වීමට ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රමුඛ නිදහස ජනතා සභාව තීරණය කර තිබේ.
අද (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා මේ බව සදහන් කළා.
වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,
“අපි ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපක් කරන්නේ නෑනේ. ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත් කරන්නේ සමගි ජන බලවේගයෙන් තමා. ඒ අනුව දැනට පාර්ශවකරුවෝ ගණනාවක් ඉන්නවා සමගි ජන සන්ධානය කියලා. ඉදිරියත් එන්න නියමිතව තිබෙනවා. ඒ සියල්ල එකතු කරගත් ශක්තිමත් පළල් බලවේගයක්. ඒකේ අපිත් ඉන්නවා. අපි සහ ඒ සියලුදෙනා එකතු වෙලා එක් පුද්ගලයෙක් ජනාධිපති විදියටත් ශක්තිමත් කණ්ඩායමකුත් වැඩපිළිවෙලකුත් රට හමුවේ තියලා ජයග්‍රහණය කරනවා.”
ආණ්ඩුව පරාජය කිරීම සඳහා වූ සටනේ දී නිදහස ජනතා සභාව විසින් සමගි ජන බලවේගය සමග සිදුකළ සාකච්ඡා ඉතාම සාර්ථක බව ද චරිත හේරත් මහතා පවසනවා.
රට තුළ පුළුල් දේශපාලන වෙනසක් ඇති කිරීම සඳහා විපක්ෂය සමග ඉදිරි සති කිහිපය තුළ ඍජුව කටයුතු කිරීමට නියමිත බව ද ඒ මහතා සදහන් කළා.




