2024 ජනාධිපතිවරණය සඳහා අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු සැප්තැම්බර් 3 වනදා ආරම්භ කරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසනවා.
ඒ මහතා පැවසුවේ එම කටයුතු සඳහා විශේෂිත දිනය ලෙස සැප්තැම්බර් මස 08 වනදා නම් කර ඇති බවයි.
රජයේ නිවාඩු දිනයක් වන ඉරිදා දිනයේ පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා මෙම බෙදාහැරීම සිදු කරන බව ඒ මහතා පවසනවා.
ඒ මහතා ඉල්ලීමක් කරමින් පැවසුවේ එය භාර ගැනීම සඳහා එම දිනයේ දී නිවැසියන්ට නිවෙස්වල රැදී සිටින ලෙසයි.
එමෙන්ම ඡන්ද පත්‍රිකා ගෙයින් ගෙට බෙදාහැරීම සැප්තැම්බර් මස 14 වනදා අවසන් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනුම් දී ඇති බවත් ඉන් පසුව ගෙයින් ගෙට ගොස් ඡන්ද පත්‍රිකා බෙදා හැරීම සිදුනොකරන බවත් ඒ මහතා ප්‍රකාශ කළා.
කෙසේ නමුත් මැතිවරණ දිනය දක්වාම තමන්ට ලිපි ලැබෙන තැපැල් කාර්යාලයට ගොස් රජකාරි වෙලාවන්හි දී සිය අනන්‍යතාවය තහවුරු කර තමන්ට හිමි නිල ඡන්ද පත්‍රකාව සිය අත්සන යොදා ලබාගත හැකි බවද ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.
2024 ජනාධිපතිවරණය සැප්තැම්බර 21 වනදා පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා අපේක්ෂකයින් 39 දෙනෙක් ඉදිරිපත් වී තිබෙනවා.
මෙවර ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් ගණන 17,140,280ක්.
ඒ අතුරින් 1,148,258ක් නව ඡන්ද දායකයින් වනවා.




