ආනයන සීමා පැනවූ සමය තුළ රථ වාහන 44,430ක් වෙළෙඳපොළට නිකුත් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ඒ අතර යතුරු පැදි 38,144ක් සහ කාර් රථ 6,286ක් වන බවයි.
දේශීය රථවාහන නිෂ්පාදකයන් පිරිසක් සමග මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී මෙම තොරතුරු අනාවරණ වී තිබෙනවා.
රථ වාහන ආනයන සඳහා සීමා පනවා තිබුණද කොටස් එකලස් කර අලෙවි කිරීම මේ වන විටත් සිදුවෙමින් පවතින බවයි වාර්තා වන්නේ.
මෙම සාකච්ඡාව සඳහා දේශීය වශයෙන් රථ වාහන නිෂ්පාදනය කරන සමාගම් රැසක නියෝජිතයන් එක්ව සිටි අතර රථ වාහන ආනයන සඳහා අවසර ලබාදීම පිළිබඳ එහිදී ගැඹුරින් සාකච්ඡා කෙරුණා.
ඔවුන් සඳහන් කළේ, ආනයන සීමා ඉවත් කිරීමේදී සිය දේශීය එකලස් කිරීමේ ව්‍යාපාර පිළිබඳවද අවධානය යොමු කරන ලෙසයි.
ශ්‍රී ලංකාව තුළ රථ වාහන නිෂ්පාදනය සඳහා මෙම ආනයන සීමා පැනවීම යම් උත්තේජනයක් වී ඇති බවත්, රටක් වාහන නිෂ්පාදනය ආරම්භ කිරීම යනු දිගු කාලීන ක්‍රියාවලියක් බවත් ඔවුන් සඳහන් කළා.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, අමාත්‍ය සියඹලාපිටිය මහතා එහිදී දේශීය ව්‍යාපාර ශක්තිමත් කිරීම කෙරෙහි රජය නිරන්තරයෙන් සහය දක්වන බවයි.




