තමන් තැබූ වාර්තාවක් වෙන කෙනෙකු බිඳ දැමීමට පෙර තමන් වීසින්ම එම වාර්තාව අලුත් කිරීම ලෝක ශූරයන්ගේ වැදගත් ලක්ෂණයක් බවත් චම්පික රණවක මහතා එවැනි ලෝක ශූරයෙක් බවත් උදය ගම්මන්පිල මහතා පවසනවා.
ගම්මන්පිල මහතා පවසන්නේ, වැඩිම වතාවක් පිල් පැනීමේ ගෙඹි ලෝක වාර්තාවට පාඨලී චම්පික මහතා හිමිකම් කීම ඔහු තැබූ වාර්තාව බවයි.
පාඨලී රණවක මහතා 1987දී ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වී චින්තන පර්ෂදයට එකතු වුනු අවස්ථාවේ සිට 17 ක් වතාවක් තමන්ගේ පිලෙන් වෙනත් පිලකට පැන තිබෙන බව ඔහු කියා සිටියා.
මීට වසර දෙකකට පෙර තමන් ඉවත් වුණු සමගි ජන සන්ධානයට නැවත එකතු වීමෙන් ඔහු කර තිබෙන්නේ පිල් පැනීම 18 වතාවක් බවට පත් කර එතුමාගේ ලෝක වාර්තාව එතුමන් විසින්ම අලුත් කර ඇති බවයි.
එම ලෝක වාර්තාව බිඳ දමනවානම් බිඳ දැමීමට හැක්කේ චම්පික රණවක මහතාට පමණක් බවයි උදය ගම්මන්පිල මහතා පවසන්නේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල මහතා :
“ලෝක ශූරයන්ගේ ඉතා වැදගත් ලක්ෂණයක් තමයි තමන් තැබූ වාර්තාවක් වෙන කෙනෙක් බිඳ දමන්න කලින්, තමන් විසින්ම ඒ වාර්තාව අළුත් කිරීම.චම්පික රණවක මැතිතුමා ඒ වගේ ලෝක ශූරයෙක්.එතුමා තමා තිබෙන වාර්තාව තමයි, වැඩිම වතාවක් පිල් පැනීමේ ගෙඹි ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ චම්පික මැතිතුමා.එතුමා 1987 දී ජවිපෙන් ඉවත් වෙලා, චින්තන පර්ෂදයට එකතු වුනු අවස්ථාවේ සිට 17 ක් වතාවක් තමන්ගේ පිලෙන් වෙනත් පිලකට පැනලා තිබුණා.ඒ තමන් හිටිය, මීට වසර දෙකකට කලින් තමන් ඉවත්වුනු සමගි ජන සන්ධානයට නැවත එකතුවීම කරා එතුමා කරලා තියෙන්නේ… පිල් පැනීම 18 වතාවක් බවට පත් කරලා තමන්ගේම ලෝක වාර්තාව තමන් විසින්ම අලුත් කිරීමයි.ඇත්තෙන්ම මේ ලෝක වාර්තාව නැවත කඩනවා නම් කඩන්න පුළුවන් චම්පික මැතිතුමාට පමණයි. පිල් පැනීමට උපන් හපන්කම් ඇති තවත් දක්ෂයෙක් මේ ලෝකේ මීට කලින් බිහිවෙලත් නෑ, මීට පස්සේ බිහිවෙන එකකුත් නෑ”




