නීතීවිරෝධී ලෙස මෙරටට ගෙන ආ රුපියල් හාර කෝටි අසූ ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් තොගයක් ගුවන් තොටුපොළෙන් රැගෙන යාමට උත්සහ කළ ගුවන් තොටුපොළ ආරක්ෂක අංශ නිලධාරීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අද (21) අලුයම ගුවන් මඟින් පැමිණි පුද්ගලයෙකු විසින් සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයේ වැසිකිළියක් තුළ දී රන් බිස්කට් 18ක් අදාළ නිලධාරියා වෙත ලබාදී ඇති අතර ඔහු ඒවා සිය ඇඳුමේ සඟවාගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් පිටව යාමට උත්සහ දරා ඇති බව සඳහන්ය.
එහිදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු සතුව තිබී සොයාගත් රන් බිස්කට් තොගය කිලෝ ග්‍රෑම් 02යි ග්‍රෑම් 86ක බරකින් යුතු වන බව සඳහන්ය.
වසර 15ක සේවා කාලයක් ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීවරයෙකු ලෙස සේවය කළ අයෙකු වන මොහු 40 හැවිරිදි හක්මණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව වාර්තා වේ.
රුපියල් 60,000ක මුදලක් ලබාදීමේ පොරොන්දුව මත මෙම ආරක්ෂක නිලධාරීවරයා අදාළ රන් බිස්කට් තොගය ගුවන් තොටුපළෙන් ඉවතට ගෙනයාමට උත්සහ කර ඇති බව රේගුව සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.




