ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ රියදුරන් සහ කාර්යාල කාර්ය සහායකයින් (Minor Staff) ඇතුළු පහළ ශ්‍රේණිවල සේවකයින්ගේ අතිකාල දීමනා (OT) කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව අත්තනෝමතික ලෙස කප්පාදු කර ඇති බවට එම සේවකයින් චෝදනා කරනවා.
පසුගිය මාසයේ පැවැති ඉන්දීය සංචාරය ඇතුළු ක්‍රිකට් තරගාවලි අතරතුර සේවය කළ සේවකයින්ගේ අතිකාල දීමනා මෙලෙස කපා හැර තිබේ.
අදාළ අතිකාල සේවාවන් සඳහා ප්‍රවාහන කළමනාකරු, පරිපාලන අංශය සහ ප්‍රධාන විධායක නිලධාරියාගේ (CEO) පූර්ව අනුමැතිය ලබාගෙන තිබූ බව සේවකයෝ පවසති. එසේ තිබියදීත්, වැටුප් බැංකු ගතකරන අවස්ථාවේදී අතිකාල දීමනාවෙන් විශාල මුදලක් කපා හැර ඇති බවට ඔවුහු චෝදනා කරති. එක් එක් සේවකයාට හිමිවිය යුතු දීමනාවෙන් රුපියල් 5,000 සිට 30,000 දක්වා විවිධ ප්‍රමාණවලින් මුදල් කපා හැර ඇත්තේ කිසිදු නිශ්චිත පදනමකින් තොරව බවද චෝදනා එල්ල වනවා.
මෙම කප්පාදුව පිළිබඳව මානව සම්පත් (HR) අංශයෙන් විමසූ විට ඔවුන් ඒ පිළිබඳව දැනුවත් නැති බව ප්‍රකාශ කර ඇත. පසුව පරිපාලන අංශයෙන් කළ විමසීමේදී දැනගන්නට ලැබී ඇත්තේ පාලනාධිකාරියේ වෙනත් පාර්ශවයක උපදෙස් මත මෙම පියවර ගෙන ඇති බවයි.
ඉදිරි කාල සීමාවේදී අතිකාල සේවාවන් සීමා කරන බවට පාලනාධිකාරිය මීට පෙර දැනුම් දී තිබුණද, දැනටමත් සිදුකර අවසන් කළ වැඩකටයුතු සඳහා හිමිවිය යුතු දීමනා මෙලෙස හදිසියේ කපා හැරීම දැඩි අසාධාරණයක් බව අදාළ සේවකයෝ වැඩිදුරටත් අවධාරණය කරති.
මේ සම්බන්ධයෙන් අප අදාළ බලධාරීන් අමතා තොරතුරු දැනගැනීමට උත්සහ කළද එය ව්‍යර්ථ වුණා.




