ඇඹිලිපිටිය නගරයේ ප‍්‍රසිද්ධ ස්ථානයක ව්‍යාජ ඡන්ද පොළක් පවත්වා ප‍්‍රතිඵල ලේඛනයක් මුහුණු පොතට නිකුත් කිරිම සම්බන්ධව වහාම විමර්ශනයක් කරන ලෙස එක්සත් ලංකා පොදුජන පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක ජනක ප‍්‍රියන්ත කුමාර රත්නායක මහතා ඇඹිලිපිටිය පොලිසියට අද(01) පැමිණිල්ලක් කර තිබෙනවා.
පසුගිය අගොස්තු 21 හෝ ඊට ආසන්න දිනයක ඇඹිලිපිටිය නගර සභාව ඉදිරිපිටදී තෝරාගත් පිරිසකට ඡන්ද පත‍්‍රිකාවක් ලෙස සැකසු කොලයක් ලබාදි තිබෙන බව පැවසෙනවා.
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්‍ෂකයන් වන රනිල් වික‍්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුරකුමාර දිසානායක, නාමල් රාජපක්‍ෂ, දිලිත් ජයවීර, සිරිතුංග ජයසුරිය යන නම් එහි සටහන් කර තිබුණ බව ද පැමිණිල්ලේ සදහන්.
නගරයට පැමිණි පුද්ගලයිනට එම කොළය දී ඡන්ද මධ්‍යස්ථානයක මෙන් කාඩ්බෝඩ් වලින් ආවරණය කළ ස්ථානක සිට ඡන්දය ලකුණු කර අසල වු පෙට්ටියකට දමා පසුව ඡන්ද ගණන් කර එහි ප‍්‍රතිඵලය යැයි පැවසෙන දත්ත මුහුණු පොත මගින් ප‍්‍රචාරය කර ඇති බව ජනක රත්නායක මහතා පවසනවා.
රත්නායක මහතා සඳහන් කළේ ඇඹිලිපිටියේ ජනතාවගේ තීරණය බව පවසමින් ඒ ඒ අපේක්‍ෂකයා ගත් ඡන්ද ප‍්‍රමාණය සහ ප‍්‍රතිශතය ප‍්‍රස්ථාරයක් මගින් ද මුහුුණු පොතේ දක්වා තිබෙන බවයි.
මේ සම්බන්ධයෙන් තමන් මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කළ බව ඔහු පැවසුවා.




