ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් තිස් හත් දෙනා එක පැත්තක තබා තමන් බණ්ඩාරනායක ප්රතිපත්ති මත විවාදයකට සූදානම් බවත් එලෙස විවාදයක් සඳහා සියලු අපේක්ෂකයින්ට අභියෝගයක් කරන බවත් ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජයදාස රාජපක්ෂ මහතා :
“මැතිවරණ වියදම් නියාමන පනත අපි ඇති කළත් මැතිවරණ කොමිෂන් සභාව රටේ ජනතාවගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කළා කියා අප තව වතාවක් උසාවි යනවා. ජනාධිපතිවරණයට කෝටි 186 ක් එක අපේක්ෂකයකුට වියදම් කරන්න අවසර දුන්නා. අපේක්ෂකයින්ගේ වත්කම්වල පෙන්නන්නෙ ලක්ෂ දෙකයි තුනයි.
කොරෝනා කාලේ මිනිස්සු කන්න නැතුව මැරිල වැටෙද්දි මෙහෙම වියදම් කරන්න සල්ලි කොහෙද තිබුණේ. ජීවිතයට රස්සාවක් කරලා නැති මිනිස්සු කෝටි 186ක් වියදම් කරන්නේ කොහොමද මේ ඔක්කොම හොර සල්ලි, හොරකම් කරපු කප්පං ගත්ත පාතාලයෙන් හම්බ කරපු ඒවා. අපේ රටේ කළු සල්ලි තියෙනකම් උගතෙකුට වැදගතෙකුට තරුණ තරුණියකුට පාර්ලිමේන්තුවට යන්න පුළුවන් කමක් නැහැ.
ඊළඟ පාර්ලිමේන්තුවේ 225න් 200ක්ම ගෙදර යවන්න පුළුවන්. දූෂණයෙන් තොර වංචාවෙන් තොර තරුණ තරුණියන් පිරිසකට අපි නායකත්වය දෙනවා. නිදහස් පක්ෂයේ දූෂිතයෝ දෙපැත්තට බෙදුණා මම මැද තනිවුණා. මේක ඇතුළට කවදාවත් හොරෙකුට දූෂිතයෙකුට පගාකාරයකුට දොර ඇරෙන්නෑ කියන එක මම කියනවා”




