රුපියල් බිලියන 160 කට වැඩි හිඟ බදු මුදල් මාස හයක කාලයක් තුළ ගෙවා අවසන් කළ යුතු බවත් එසේ නොකොළහොත් බැංකු ගිණුම් සහ දේපළ අත්පත් කර ගැනීමට සිදුවන බව කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය පවසනවා.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමාගම් 1000 ආසන්න ප්‍රමාණයකට දැනුම් දී තිබෙන බව කොමසාරිස් ජනරාල් චන්ද්‍රසේකර මහත්මිය පවසා තිබුණා.
පසුගිය වසර අවසන් වනවිට එම සමාගම් ගෙවීමට තිබූ හිඟ බදු මුදල් සම්බන්ධයෙන් මෙම දැනුම් දීම සිදුකළ බවත් ඒ සඳහා කාලය දීර්ඝ කිරීමක් ලබා නොදෙන බවත් ඇය සඳහන් කළා.
චන්ද්‍රසේකර මහත්මිය පවසන්නේ මෙම දැනුම් දීම සම්බන්ධයෙන් දැනටමත් ඇතැම් සමාගම් ප්‍රතිචාර දක්වා තිබෙන බවත් දේපළ අත්පත් කර ගනිමින් හිඟ බදු මුදල් අයකර ගැනීම සඳහා එම සමාගම් කැමැත්ත ලබාදී තිබෙන බවයි.
ඒ අනුව එම සමාගම් ගෙවීමට ඇති හිඟ බදු මුදල් සාර්ථකව අයකර ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හැකිවන බව චන්ද්‍රසේකර මහත්මිය තවදුරටත් සඳහන් කරනවා.
කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය සඳහන් කළේ බදු ගෙවීම පැහැර හැරි සමාගම් ගෙවීමට ඇති හිඟ බදු මුදල් අයකර ගැනීම සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා මේ වනවිට එම සාමාගම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙන බවයි.
මුදල් අමාත්‍යංශයේ උපදෙස් මත දේශීය අදායම් පනතෙන් ලබා දී තිබෙන උපරිම බලය යටතේ හිඟ බදු මුදල් අයකර ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු කරන බවත් හිඟ බදු මුදල් අයකර ගැනීම සඳහා නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයා යටතේ 11 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කර තිබෙන බවත් චන්ද්‍රසේකර මහත්මිය සඳහන් කළා.
දේශීය ආදායම් සේවා සංගමයේ ලේකම් එච්.ඒ.එල්. උදයසිරි මහතා පැවැසුවේ බදු පැහැරහැරි සමාගම් අතර ලාභ ලබන සමාගම්ද සිටින බවයි.




