මී උණ වැලඳුණු බවට 2023 වසරේ වාර්තා වූ රෝගීන් 9,000කට අධික පිරිසක් අතරින් 200කට ආසන්න පිරිසක් මියගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ වෛද්‍ය කුමුදු වීරකෝන් මහත්මිය සඳහන් කළා.
මෙම වසරේදී ගතවූ කාලසීමාව තුළ පෙර වසරට සාපේක්ෂව මී උණ වැලඳුණු රෝගීන් ගණන ඉහළ ගොස් ඇති බව ද ඇය පැවසුවා.
යාපනය දිස්ත්‍රික්කයේ ව්‍යාප්ත වන හඳුනා නොගත් උණ රෝගය, මී උණ රෝගය ද යන්න තහවුරු කර ගැනීමට මේ වන විට පරීක්ෂණ පවත්වන බව ද ඇය සදහන් කළා.
උණ සහ ශ්වසන අපහසුතා ඇති රෝගීන් එම ප්‍රදේශ තුළින් වාර්තා වී ඇති බවත් මේ වන විට අදාළ උණ රෝගීන්ගේ සාම්පල ලබා ගනිමින් පරීක්ෂණ පවත්වන බවත් ඒ මහත්මිය ප්‍රකාශ කළා
මී උණ රෝගය වැඩි වශයෙන් පැතිරයෑමේ අවදානම සම්බන්ධව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඇය මේ බව ඊයේ (11) කියා සිටියාය.
වී ගොවිතැන ආශ්‍රිතව මඩ සහ ජලය ආශ්‍රිතව වගා කටයුතුවල නිරතව සිටින ගොවීන්, ගංවතුරට මුහුණදී සිටින පිරිස්, කුඹුරු හා ජලය ආශ්‍රිතව වෙනත් රාජකාරි කටයුතුවල නිතරව සිටින්නන්, පතල් ආශ්‍රිතව සහ ජලය ආශ්‍රිත රැකියා කරන්නන් මී උණ රෝගයට ගොදුරු වීමේ වැඩි අවදානමට ලක්වන බවත් ඇය ප්‍රකාශ කළාය.
තද උණ, තදබල මස්පිඬු වේදනාව, ඇස් රතු වීම යනාදිය මී උණ රෝග ලක්ෂණ වන අතර ඒ සමඟ වමනය, හිසරදය, ශරීරයේ අප්‍රාණික බව, මුත්‍රා සමඟ ලේ පිටවීම, මුත්‍රා පිටවීමේ අඩුකම වැනි රෝග ලක්ෂණ ද ඇති විය හැකි බවයි.
මෙම රෝග ලක්ෂණ පවතින්නේ නම් ඉක්මනින් ප්‍රතිකාර ලබා ගැනීමෙන් රෝගය දරුණු මට්ටමට පැමිණීම වළක්වාගත හැකි බවත් එසේ නොවුණහොත් වකුගඩු, අක්මාව, මොළය ඇතුළු ශරීරයේ අවයව සඳහා දැඩි හානි පමුණුවන අතර මරණයට පවා පත් විය හැකි බවත් ඇය පැවසුවා.
කුඹුරු හා ජලය ආශ්‍රිත රැකියා සඳහා යොමුවන පිරිසට සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් ප්‍රතිජීවක ඖෂධ දෙන බවත් ඒ අනුව තමන්ගේ ප්‍රදේශයට අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මඟින් අදාළ ප්‍රතිජීවක ඖෂධ නොමිලේ ගත හැකි බවත් ඒ මහත්මිය ප්‍රකාශ කළා.




