රජයේ “Clean Sri Lanka” වැඩසටහනට ලෝක බැංකුවේ සහාය ලබාදෙන බව ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ පරමේෂ්වරන් අයියර් (Parameswaran Iyer) සදහන් කරනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක (04) දින ජනාධිපති කාර්යාලයේදී හමු වූ අවස්ථාවේදී ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ පරමේෂ්වරන් අයියර් මේ බව සදහන් කර තිබෙනවා.
නව රජයේ ඉදිරි සංවර්ධන සැලසුම් මෙන්ම, ග්‍රාමීය දුප්පත්කම පිටුදැකීම සදහා වන සැලසුම්, ආර්ථික ඩිජිටල්කරණ වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය ආදී ව්‍යාපෘති හා සැලසුම් පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කළා.
වතුකරයේ ජනතාවගේ ඉඩම් හා නිවාස ගැටලුව ඇතුළු උතුරු සහ නැගෙනහිර ජනතාව දීර්ඝ කාලයක් පුරා මුහුණදී සිටින ගැටලුවලට විසඳුම් සෙවීම පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස කතාබහට ලක්වී තිබෙනවා.
කෘෂිකර්මාන්තය, ධීවර, සංචාරක, අධ්‍යාපන හා සෞඛ්‍ය යන ක්ෂේත්‍රයන් සංවර්ධනය කිරීම කෙරෙහි රජයේ ප්‍රමුඛ අවධානය යොමුව තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි.
රජයේ ඉදිරි සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීම සදහා සහාය ලබා දෙමින් එහි ආරම්භක පියවර ලෙස මෙරට උපදේශන කණ්ඩායමක් සමඟ සාකච්ඡා පැවැත්වීමට සූදානම් බව ලෝක බැංකු විධායක අධ්‍යක්ෂවරයා සදහන් කරයි.
රජයේ Clean Sri Lanka වැඩසටහන ඇගයීමට ලක් කළ ලෝක බැංකු විධායක අධ්‍යක්ෂවරයා, දැනට ලෝක බැංකුවේ සහාය ලබාදෙන සියලුම ව්‍යාපෘති ඉදිරියටත් එලෙසින්ම ක්‍රියාත්මක කරන බවද සඳහන් කළා.




