spot_img
spot_img

මුර්දු ප්‍රනාන්දු අගවිනිසුරු ධුරයේ දිවුරුම් දෙයි

ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (02) පෙරවරුවේ දිවුරුම් දුන්නා.

මෙරට අගවිනිසුරු ධුරයට පත් දෙවන කාන්තාව ලෙසත්, ශ්‍රී ලංකාවේ 48 වන අගවිනිසුරු ලෙසත් මුර්දු ප්‍රනාන්දු මහත්මිය ඉතිහාසයට එක්වෙයි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විශ්‍රාම යෑමෙන් පසු පුරප්පාඩු වූ ධුරය සඳහා ඇයගේ නම ව්‍යවස්ථා සභාව විසින් පසුගියදා අනුමත කරන ලදී.

1985 වසරේදී නීතිපති දෙපාර්තමේන්තුවට එක් වූ ඇය 1997 වසරේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ධුරයටත්, 2014 වසරේදී අතිරේක සොලිසිටර් ජනරාල් ධුරයටත් උසස්වීම් ලබා ඇත.

මුර්දු ප්‍රනාන්දු මහත්මිය රජයේ නීතිඥවරියක ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට බැඳී වසර 30කට වැඩි කාලයක් එහි සේවය කර තිබෙන අතර 2018 මාර්තු මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කර තිබේ.

මුර්දු ප්‍රනාන්දු මහත්මිය නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ලෙස සේවය කළ අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරියද වේ.

මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන මුර්දු ප්‍රනාන්දු විනිසුරුවරිය කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයෙන් නීතිවේදී උපාධිය ලබා ගෙන තිබේ.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද මෙම අවස්ථාවට එක්විය.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...