රජයේ තීරණය ශිෂ්‍යත්ව විභාගය යළි නොපැවැත්වීම බව සඳහන් කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට අද (25 වැනිදා) ඉදිරිපත් කෙරේ.
විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටු තුනක් පත් කරන ලද අතර එම කමිටු තුනේම නිර්දේශය වී තිබුණේ විභාගය යළි නොපැවැත්වීම ය.
එම නිර්දේශ සහ විභාගය යළි පැවැත්වීමෙන් ලබා දෙන නරක වැරදි පූර්වාදර්ශය සම්බන්ධයෙන් ද මෙම කැබිනට් පත්‍රිකාවට කරුණු ඇතුළත් කර තිබේ.
එමෙන් ම මෙලෙස ප්‍රශ්න පිට වූ අවස්ථාවන්හි මින් පෙර අනුගමනය කර තිබෙන ක්‍රියාමාර්ග ද ඊට ඇතුළත් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග කීවේය.
ඉකුත් සැප්තැම්බර් මස 15 වැනිදා පැවැති ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීමට අදාළව කරුණු සොයා බැලීම සඳහා පළමු කමිටුව පත් කළේ විභාග දෙපාර්තමේන්තුව ය.
සෙසු කමිටු දෙක ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සහ අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරියගේ උපදෙස් මත අමාත්‍යාංශයේ එවකට ලේකම් තිලකා ජයසුන්දර විසින් පත් කළා.
කෙසේ වුව ද විභාගය යළි පවත්වන ලෙස ඉල්ලමින් දෙමව්පියන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් සිටින අතර ඒ අනුව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම මෙන්ම පිළිතුරු පත්‍ර ඇගැයීම් කටයුතු අත්හිටුවමින් අතුරු තහනම් නියෝග නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ශිෂ්‍යත්ව විභාගයේ පළමු වැනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් සඳහා සියලු සිසුන්ට සම්පූර්ණ ලකුණු දීමට බලධාරීන් ගෙන ඇති තීරණය අත්හිටුවමින් ද අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ




