ඇතැම් මැතිවරණ දූෂණ සහ නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් දෙන දඬුවම අපේක්ෂකයන් තේරී පත්වීම නතර කිරීම හෝ ප්‍රජා අයිතිය නතර කිරීම දක්වා බරපතළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පවසනවා.
නීති විරෝධී කටයුතුවලට නොයෙදෙන ලෙසට ආධාරකරුවන්ට උපදෙස් දෙන්නැයි අපේක්ෂකයන්ගෙන් සභාපතිවරයා ඉල්ලා සිටියා.
නීති විරෝධී ක්‍රියා සහ කොමිසමේ විධාන උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දෙන දඬුවම් ජනාධිපතිවරණය තෝරාපත්කර ගැනීමේ පනතේ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව දක්වා ඇති බවයි ඔහු සඳහන් කළේ.
පොලිතින් හා ප්ලාස්ටික්වලින් තොරව සිය මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන ලෙස සියලුම ජනාධිපති අපේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කරන බවද රත්නායක මහතා පවසනවා.
ඔහු මෙම ඉල්ලීම කළේ කොළඹ රාජගිරිය මැතිවරණ ලේකම් කාර්යාලයේදී නාම යෝජනා බාර ගැනීමෙන් අනතුරුව අපේක්ෂකයන්ට උපදෙස් නිකුත් කරමින්.
අපේක්ෂකයකු ප්‍රවර්ධනය කිරීමට හෝ තවත් අපේක්ෂකයකු අගතියට පත් කිරීමට ප්‍රචාරක පත්‍රිකා අනිකුත් දෑ ප්‍රදර්ශනය කිරීම හෝ බෙදා හැරීම සම්බන්ධයෙන් පවතින නීතිමය ප්‍රතිපාදන කෙරෙහි සියලු අපේක්ෂකයන් සහ ආධාරකරුවන් අවධානය යොමු කළ යුතු බවද සභාපතිවරයා එහිදී කියා සිටියා.




