ඉදිරි ජනාධිපතිවරණයේදී සාම්ප්‍රදායනුකූල දේශපාලන මතවාදයන්ට අනුව කටයුතු කළහොත් රට තුළ යළිත් සිවිල් යුද්ධයක් ඇති වීමේ අවධානමක් ඇති බවත්, එවැනි තත්ත්වයක් ඇති වුවහොත් එහි වගකීම අදාළ පාර්ශව විසින් භාරගත යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පෙන්වා දෙනවා.
නව ආර්ථික පරිවර්තන පනත පාර්ලිමේන්තු සභිකයන් 225ම එකඟතාවය මත සම්මත කළත්, ඇතැමුන් පිටතට පැමිණ ජනතාව නොමඟ යවන අදහස් ඉදිරිපත් කිරීම කනගාටුවට කරුණක් බව සඳහන් කළ ඒ මහතා, සාම්ප්‍රදායික පටුබෙදීම් පසෙක තබා රට හදන ජාතික සැලැස්මට එකඟ වන ලෙස ද ඉල්ලා සිටියා
පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (29) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා
මෙරට 09 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම වෙනුවෙන් එළැඹෙන සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය තීරණාත්මක මැතිවරණයක් වන බව කිව යුතුයි. වර්තමානය වන විට පැරැණි දේශපාලන පක්ෂවලට සාම්ප්‍රදායික ආකාරයටම තම දේශපාලන ව්‍යාපාරය ඉදිරියට ගෙන යෑමට නොහැකි වී තිබෙනවා. ඒ වගේම ඉතිහාසය තුළ අප රටේ කැරැලි කිහිපයක් මෙන්ම සිවිල් යුද්ධ ද ඇතිව තිබෙනවා.
පැවති පසුගිය පාලනයට එරෙහිව ද සිවිල් අරගල තත්ත්වයක් ඇති වුණා. එම නිසා නැවත එවැනි තෙවැනි සිවිල් යුද්ධයක් වැනි තත්ත්වයක් ඇති වීමට ජනතාව තම ඡන්දය භාවිත කරනවා ද? එසේ නොමැති නම් එවැනි තත්ත්වයක් සිවිල් සමාජය තුළ ඇති නොවීමට තම ඡන්දය භාවිත කරනවාද කියන ප්‍රශ්නය සැප්තැම්බර් 21 වැනිදා ශ්‍රී ලාංකික මහජනතාව ඉදිරියේ තිබෙනවා.
සාම්ප්‍රදායානුකූලව තම දේශපාලන මතවාදයන්ට අනුව කටයුතු කළහොත්, එසේ නොමැති නම් කුලවාදය මුල්කරගත් ශ්‍රී ලාංකික සමාජය තුළ පවතින කුලවාදී දේශපාලනය ක්‍රියාත්මක කළහොත්, ආගම මත කටයුතු කළහොත් තුන්වැනි සිවිල් යුද්ධයක් ඇතිවීමේ වගකීම අදාළ පාර්ශ්ව විසින් භාරගත යුතුව තිබෙනවා. ඒ බව මෙරට දේශපාලන පක්ෂ හොඳින් මතක තබා ගත යුතුයි.




