අස්වැසුම සුබසාධක ප්රතිලාභ යෝජනා ක්රමය සඳහා නව අයදුම්කරුවන් 450,000 පමණ අයදුම්කර ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසනවා.
ඒ අනුව එහි සංගණන කටයුතු සිදුකිරීමෙන් පසු කමිටුවක් විසින් අස්වැසුම ලබාගත හැකි අයදුම්කරුවන් තෝරා ගැනීමට නියමිතයි.
ඉන් අනතුරුව තෝරාගත් ප්රතිලාභීන් සඳහා පවතින විරෝධතා සැලකිල්ලට ගැනීමෙන් පසු ඒ සඳහා යම් ඉවත් කිරීමක් ඇත්නම් ඒවා ද සිදුකර අස්වැසුම ලබාගන්නා ප්රතිලාභීන් තෝරාගැනීම සිදුකෙරෙනු ඇති.
එහි සංගණන කටයුතු මේ වනවිට ආරම්භ වී ඇති බවත් උතුරු පළාත තුළ එය සාර්ථකව සිදුකළද එම කටයුතු සඳහා අනෙකුත් පළාත්වල නිලධාරීන්ගේ යම් මැලිකමක් දක්නට ලැබෙන බවත් සුබසාධක ප්රතිලාභ මණ්ඩලය ප්රකාශකයෙක් සඳහන් කළා.
මේ වනවිට ප්රතිලාභීන් ලක්ෂ 18ක් පමණ ප්රමාණයක් සඳහා අස්වැසුම පළමු අදියර යටතේ දීමනා ලබාදෙන බවට වාර්තා වනවා.
කාණ්ඩ 4ක් යටතේ එම ප්රතිලාභය ලබාදෙන අතර සංක්රාන්තික සහ අවදානමට ලක්වූ යන කාණ්ඩ සඳහා මාසිකව රුපියල් 5,000ක දීමනාවක් ලබාදීම සිදුකරනවා.
“දුප්පත්” කාණ්ඩය සඳහා මාසිකව රුපියල් 8,500ක දීමනාවක් ද “අන්ත දුප්පත්” යන කාණ්ඩය සඳහා මාසිකව රුපියල් 15,000ක දීමනාවක් ද මේ වනවිට ලබාදෙනවා.
කෙසේවෙතත් සංක්රාන්තික සහ අවදානමට ලක්වූ යන කාණ්ඩ 2 සඳහා ලබාදෙන අස්වැසුම ප්රතිලාභය මෙම වසර් දෙසැම්බර් 31 වනදායින් අවසන් වීමට නියමිතව ඇති අතර එම කාණ්ඩ 2 යටතේ ලක්ෂ 8ක පමණ ප්රතිලාභීන් ප්රමාණයක් මේ වනවිටත් දීමනා ලබා ගනිමින් සිටිනවා.
අස්වැසුම දෙවන අදියරේ වැඩකටයුතු අවසන් වූ වහාම පළමු අදියරේ දී අස්වැසුම හිමිවන ප්රතිලාභීන්ගේ දත්ත යාවත්කාලීන කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලයේ ප්රකාශකයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.




