ජංගම දුරකථන ඔස්සේ අයැදුම් කර මාර්ගගත ක්‍රමය යටතේ ලබාගත් රුපියල් කෝටි ගණනක ණය ආපසු නොගෙවූ, දිවයින පුරා පදිංචි ණය ගැනුම්කරුවන් සියයකට අධික පිරිසකට එරෙහිව ‘ඔන්ක්‍රෙඩිට්’ නමැති සුළු පරිමාණ ණය ලබාදීමේ ව්‍යාපාරයට ඊයේ (16) කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරනු ලැබුවා.
එම ණය ගැනුම්කරුවන්ට ලබන සැප්තැම්බර් 13 වැනිදා තම අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා සිතාසි යැවීමට, කොළඹ අතිරේක දිසා විනිසුරු අරුණ වික්‍රමසිංහ මහතා නියෝග කළා.
කොළඹ 7 පිහිටි සීමාසහිත ‘ඔන්ක්‍රෙඩිට්’ පුද්ගලික සමාගම 2022, 2023 හා 2024 යන වසරවලදී ඔන්ලයින් ඔස්සේ ණය අයැදුම් කළ රට පුරා පදිංචි සියයකට අධික පිරිසකට රුපියල් 90,000 හා ඊට අඩු ප්‍රමාණයේ ණය ලබාදීම සිදුකළ බවත්, ණය ගැනුම්කරුවන්ගෙන් කිසිදු සුරැකුමක් ලබානොගෙන ඔවුන් යොමු කළ බැංකු ගිණුම්වලට යොමු කළ එම ණය මුදල්, ගෙවීම හිතාමතාම පැහැර ඇති බවත්, පැමිණිලිකාර සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඩිල්ෂාන් වීරසේකර මහතා අධිකරණයට පැවසුවා.
එම ණය මුදල් ගෙවීම හිතාමතාම පැහැර හැර තිබූ කොළඹ, ගම්පහ, කළුතර, හම්බන්තොට, ගාල්ල, මාතර, මන්නාරම, පුත්තලම ඇතුළු රට පුරා පදිංචිකරුවන් පිරිසකට එලෙස නඩු පවරා තිබෙනවා.




