එංගලන්තයෙන් බිහිවූ විශිෂ්ටතම වේගපන්දු යවන්නා වූ ජේම්ස් ඇන්ඩර්සන් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට ඊයේ (12) සමු දුන්නා.
ඔහු ටෙස්ට් පිටියට සමුදුන්නේ වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවා ගත් වේගපන්දු යවන්නාට හිමි වාර්තාවද සිය නම ඉදිරියේ සටහන් කර ගනිමින්.
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 121කින් ජය ගැනීමට එංගලන්තය ඊයේ සමත් වුණා.
එම තරගය ජේම්ස් ඇන්ඩර්සන් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ සහභාගි වූ අවසන් ටෙස්ට් තරගය වූ අතර, ඔහු එම තරගයේදී කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුණා.
සිය ටෙස්ට් දිවියේ අවසන් තරගයට එක් වූ ජේම්ස් ඇන්ඩර්සන් ලෝර්ඩ්ස් ක්‍රීඩාංගණයට රැස්ව සිටි ක්‍රීඩාලෝලීන්ගේ ආචාර මැද සිය ටෙස්ට් ක්‍රිකට් දිවිය නිමා කළ අතර එම තරගය නැරඹීමට ඔහුගේ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයින්ද එක් වී සිටියා.
වසර 21ක් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටිය හැඩ කළ මෙම අසහාය පන්දුයවන්නා තව දින කිහිපයකින් සිය 42 වැනි වියට පා තබන අතර, ඔහු ටෙස්ට් පිටියෙන් සමුගන්නා විට දවාගෙන තිබූ කඩුලු සංඛ්‍යාව 704ක්.
මුත්තයියා මුරලිදරන් සහ ෂේන් වෝන්ගෙන් පසු වැඩිම ටෙස්ට් කඩුලු ලාභින්ගේ ලැයිස්තුවේ 3 වැනි තැනට හිමිකම් කියූ ඇන්ඩර්සන්ට වැඩිම කඩුලු ලාභින්ගේ දෙවැනි ස්ථානය දිනා ගැනීමට තවත් අවශ්‍ය තිබුණේ කඩුලු 5ක් පමණයි.
ඒ අනුව, ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු සඛ්‍යාවක් දවා ගත් වේගපන්දු යවන්නා ලෙස මතක රැසක් ඉතිරි කරමින් ඇන්ඩර්සන් ජාත්‍යන්තර ක්‍රිකට් ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදුන්නා.




