ඉකුත් ජුලි 8 සහ 9 යන දෙදින තුළ සේවයට වාර්තා කළ විධායක නොවන රාජ්‍ය නිලධාරීන්ට විශේෂ වැටුප් වර්ධකයක් ලබාදීමට සහ ඉදිරි උසස්වීම් සඳහා ප්‍රශංසා සහතිකයක් නිකුත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ඊයේ (09) හිමිව තිබෙනවා.
ඒ අනුව එම දින දෙක තුළ සේවයට වාර්තා කළ 3 වැනි ශ්‍රේණියේ ගුරුවරයෙකුට රුපියල් 525ක වැටුප් වර්ධකයකුත්, 2 වැනි ශ්‍රේණියේ පළමු පංතියේ ගුරුවරයෙකුට රුපියල් 1335ක වැටුප් වර්ධකයකුත් හා පළමුවැනි ශ්‍රේණියේ ගුරුවරයෙකුට රුපියල් 1630ක වැටුප් වර්ධකයකුත් වශයෙන් ලබා දීම කෙරෙහි කැබිනට් අනුමැතිය හිමි වූ බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කළේ.
අද පැවැති කැබිනට් දැනුම් දීමේ දී මේ බව සඳහන් කළ කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මෙම වැටුප් වර්ධක විශ්‍රාම වැටුපට බල නොපාන ලෙස ලැබෙන බවත්, ලබා දෙන ප්‍රශංසා සහතික අදාළ දිනවල රාජකාරි සඳහා වාර්තා කළ රාජ්‍ය සේවකයන්ගේ පුද්ගලික ලිපිගොනු වෙත ඉදිරිපත් කරන බවයි.
මේ අතර එම ප්‍රශංසා සහතික ඉදිරියේ දී ඔවුන්ගේ උසස්වීම් ලබා දීමේ දී සලකා බලන බව ද කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.




