වගා හානි වන්දි හා පොහොර සහනාධාර ඇතුළු වෙනත් ආධාර ‘Geo-Goviya’ යෙදවුම මගින් සනාථ කර ඇති ඉඩම් ප්‍රමාණයට නිසියාකාරව ලබා දීමෙන් පසුගිය වසරේදී රුපියල් කෝටි 57ක මුදලක් රජයට ඉතිරි කර ගැනීමට හැකි වී යැයි ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා.
කුඹුරු ඉඩම් ‘Geo-Goviya’ යෙදවුම යොදා ගනිමින් නිවැරැදිව සිතියම් ගත කිරීමෙන් මෙසේ විශාල මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වී ඇතැයි එම නිලධාරීන් දැනුම්දෙනවා.
දැනට ශ්‍රී ලංකාවේ ඇති සියලු ම කුඹුරු ඉඩම් ‘Geo-Goviya’ යෙදවුම යොදා ගනිමින් නිවැරදිව සිතියම් ගත කිරීම අරඹා ඇතැයි ද ඒ මගින් කුඹුරු ඉඩම් හෙක්ටයාර් මිලියන 1.91ක මැනීම් කටයුතු අවසන් කර ඇතැයි ද කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සදහන් කළා.
මේ අතර ගොවීහු ලක්ෂ 13ක් මෙම යෙදවුම මගින් ලියාපදිංචි වී තිබෙනවා.
‘Geo-Goviya’ යෙදවුම මගින් කුඹුරු මැනීම නිවැරදිව සිදු කර ඇති නිසා දැනට ගොවීන් සතුව පවතින ඉඩම්වල සත්‍ය ප්‍රමාණය නිවැරදිව ම සටහන් කර ගැනීමට හැකි වී ඇති නමුත් ඔප්පුවල සඳහන් වන ඉඩම් ප්‍රමාණ බොහෝ විට පවතින ඉඩම් හා නොගැළපෙන බවක් පෙනී යන්නේ යැයි ද කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සදහන් කළා.
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මෙරට කෘෂි කර්මාන්තය සඳහා නව තාක්ෂණය හඳුන්වා දීම සඳහා ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙල යටතේ ‘Geo-Goviya’ නමැති යෙදවුම හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව, මෙම යෙදවුම මගින් ගොවීන්ට කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය දැනුම මෙන් ම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ලබා දෙන සේවාවන් පිළිබඳ තොරතුරු ද අන්තර්ගත කර කර තිබෙනවා.




