spot_img
spot_img

හරක් කටා අධිකරණයෙන් තවත් සහන ඉල්ලලා

මේ දිනවල දැඩි රස්නයක් පවතින නිසා තමා රඳවා සිටින කුටියේ සිටීමට අපහසු බැවින් තමාට විදුලි පංකාවක් ලබාදෙන්නැයි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරමකරුවකු වන නඳුන් චින්තක නොහොත් හරක් කටා අධිකරණයෙන් ඊයේ (26) ඉල්ලා සිටියා.

එමෙන්ම ඔහු ඉල්ලා ඇත්තේ තමාට කියවීමට පොත් හෝ පුවත්පත් ලබාදෙන ලෙසයි.

මෙම ඉල්ලීම් සිදුකෙරුණේ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටියදී ඉන් පළායාමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් නඳුන් චින්තක හෙවත් “හරක් කටා” සහ තවත් දෙදෙනෙකුට එරෙහිව ගොනුකර ඇති අධිචෝදනාවලට අදාළ නඩුව කොළඹ මහාධිකරණයේදී අද යළි කැඳවනු ලැබුවා.

ඒ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේයි.

තංගල්ල පැරණි බන්ධනාගාරයේ පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ සිට හරක් කටා නඩු වාරයට රැගෙන විත් තිබිණා.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා එහිදී දැනුම් දුන්නේ ඉකුත් නඩු වාරයේදී විත්තිය ඉල්ලූ පරිදි සැකකරුට නීතිඥයින් සහ ඥාතීන් හමුවීමට පහසුකම් සැලසූ බවර්‍යි.

නමුත් “හරක් කටා” වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා මෙලෙස අධිකරණයේදී චෝදනා කිහිපයක් කරනු ලැබුවා.

ඔහු පැවසුවේ සැකකරු හමුවීමට නීතීඥයන් හා ඥාතීන් පැමිණි විට පොලිස් නිලධාරීන් ඔවුන් සමීපයෙන්ම සිටින අතර එම සාකච්ඡා පටිගත කරන බවයි.

එය ඔවුන්ට අදහස් හුවමාරු කරගැනීමට බාධාවක් මෙන්ම සාධාරණ නඩු විභාගයක් සඳහා ඇති අයිතිය උල්ලංඝනය කිරීමක් බවටයි ඔහු චෝදනා කළා.

ඒ ගැන අවධානය යොමුකළ විනිසුරු දමිත් තොටවත්ත මහතා පැමිණිල්ලට යෝජනා කළේ හඬ රහිත ආරක්ෂිත කැමරා (CCTV) ඔස්සේ පමණක් සැකකරු නිරීක්ෂණය කිරීම පිළිබඳ සොයාබලන ලෙසය.

සැකකරුගේ නීතීඥවරයා මෙලෙස තවත් ඉල්ලීම් කිහිපයක් සිදුකළා.

“ස්වාමිනි, මගේ සේවාදායකයා සිටින කුටිය තුළ මේ දිනවල පවතින්නේ දැඩි රස්නයක්. ඔහුට ෆෑන් එකක් ලබාදීම පිළිබඳ සලකා බලන්නැයි මා ඉල්ලීමක් කරනවා. ඒ වගේම කුටියට ආලෝකය එන්නේ ඉතාම කුඩා කවුළුවකින්. මුළු දවස පුරාම කුටියේ ලයිට් නිවන්නේ නැහැ. එය මගේ සේවාදායකයාට නිදාගැනීමට බාධාවක්. ඒ වගේම මගේ සේවාදායකයාට රැඳවුම් කුටිය තුළදී කියවීමට පොතක් හෝ පුවත්පතක් අවශ්‍යයි. මේ ගැන අවධානය යොමු කරන ලෙස මා ඉල්ලීමක් කරනවා.”

ඊට ප්‍රතිචාර ලෙස රජයේ නීතිඥවරයා කියා සිටියේ මෙම ඉල්ලන පහසුකම් බන්ධනාගාරයක තිබෙන පහසුකම් නොවන බවයි.

කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා සැකකරුවන් වෙනුවෙන් සිදුකළ යුතු සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වෙත ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන්නා.

මෙහිදි රජයේ නීතිඥවරයා, නඳුන් චින්තක හෙවත් “හරක් කටා” සෑම නඩුවාරයකදීම අධිකරණයට ගෙන ඒම ආරක්ෂක හේතු මත සුදුසු නොවන බැවින් මාර්ගගත ක්‍රමවේදයට ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීම පිළිබඳ සලකා බලන ලෙස ඉල්ලීමක් කළා.

එහිදී විත්තිය නීතිඥයින් ඒ පිළිබඳ සැකකාර නඳුන් චින්තකගේ අදහස විමසූ අතර ඔහු දැනුම් දුන්නේ නඩු වාර සඳහා අධිකරණයට පැමිණීමට තමා කැමති බවයි.

නඩුව මැයි 15 වනදා යළි කැඳවීමට නියමිතයි.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...