ජනාධිපති රනිල් වික්‍රමසිංහ සියලු දෙනාට පිළිගත හැකි පොදු ලකුණකින් යුත් සන්ධානයකින් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම ස්ථීර බව එක්සත් ජාතික පක්ෂයේ මිනුවන්ගොඩ ආසන සංවිධායක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ආශු මාරසිංහ මහතා පවසනවා.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ඊයේ (අප්‍රේල් 9) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ජනාධිපති උපදේශක ආශු මාරසිංහ මේ බව සඳහන් කළා.
ඔහු තවදුරටත් පෙන්වා දුන්නේ ජාතික අපේක්ෂකයා වශයෙන් අලියා, පොහොට්ටුව හා හංසයා හැර වෙනත් ලකුණකින් තරග කිරීමට වික්‍රමසිංහ ජනාධිපතිවරයා දේශපාලන කණ්ඩායම් සමග සාකච්ඡා කරමින් සිටින බවයි.
අලියා ලකුණින් තරග කළහොත් පොදුජන පෙරමුණ ඇතුළු ඊට පක්ෂපාතී දේශපාලන පක්ෂවල සාමාජිකයන්ගේ ඡන්දය නොලැබීමටත්, පොහොට්ටුව ලකුණින් තරග කළහොත් එජාපයට හිතවත් පාක්ෂිකයන් හා දේශපාලන කණ්ඩායම්වල සහය නොලැබීමටත් ඉඩ තිබෙන බව ආශු මාරසිංහ මහතා පවසා සිටියා.
එසේ ම, පසුගිය මැතිවරණවලදී හංසයා ලකුණින් තරග කර තිබෙන බැවින් ජනාධිපතිවරයාගේ පාර්ශ්වය වෙනත් දේශපාලන ලකුණක් කෙරෙහි අවධානය යොමුකර ඇති බවද ඔහු පෙන්වා දුන්නා.
ජනාධිපති උපදේශකවරයා තවදුරටත් සඳහන් කර ඇත්තේ ඒ අනුව, ලකුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා වී ඇති නමුත් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා සමගි ජන බලවේගයේ බහුතරයක් මන්ත්‍රීවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කිරීමට නියමිත බවත්, මැතිවරණය ප්‍රකාශයට පත්කළ විට එම මන්ත්‍රීවරුන් සියලුදෙනා තනි කණ්ඩායමක් වශයෙන් මැතිවරණ ව්‍යාපාරයට එක්වන බවත් ඔහු ප්‍රකාශ කළා.
එජාප නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්වූ අවස්ථාවේදී සජබ නායක සජිත් ප්‍රේමදාස සහාය පළ කිරීමට ඉදිරිපත්වූයේ නම් අගමැති ධූරය ඔහුට පිරිනැමීමටත්, වත්මන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනට එම තනතුර නොදීමටත් ඉඩ තිබූ බව ද ජනාධිපති උපදේශක ආශු මාරසිංහ මහතා මෙහිදී පවසා සිටියා.




