ඉකුත් සමයේ ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කළ මුදල් විශුද්ධිකරණය යටතේ එන මූල්‍ය අපරාධවලට සම්බන්ධ දේශපාලකයන්, නලු නිලියන් සහ ක්‍රීඩකයන් ලොවට අනාවරණය කළ ‘පැනමා පත්‍රිකා’වලින් හෙළිදරව් කර සිටි, පුද්ගලයන් 27 දෙනෙකුට අදාළව නඩු විභාගය ඉකුත් දා පැනමා අධිකරණයක දී ආරම්භවි තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ එහි ප්‍රධාන විත්තිකරුවන් වන ජර්මානු ජාතික ජර්ගන් මොසැක් සහ ඔවුන්ගේ නීති ආයතනය වූ ‘මොසැක් – ෆොන්සේකා’හි සම-නිර්මාතෘ වන රේමන් ෆොන්සේකාට එරෙහිවයි.
ඔවුන්ට එම චෝදනා එල්ල වී ඇත්තේ, සිය නීති සමාගම බදු වංචාකොට ෂෙල් සමාගම් පිහිටු වූ බවට වන චෝදනාවන් සමගයි.
2016 වසරේ දී, ජර්මානු පුවත්පතක් වන Süddeutsche Zeitung (SZ) වෙත රහස් මූල්‍ය ලේඛන මිලියන 11.5 ක් කාන්දු වූ අතර එමගින් ලෝකයේ ධනවතුන් කිහිප දෙනෙක්, තම වත්කම් අක්වෙරළ සමාගම්වල තැන්පත් කර ඇති බව හෙළිදරව් වුණා.
එම අනාවරණයේ ප්‍රබලත්වය කෙතරම් ද යත්, අයිස්ලන්ත හිටපු අගමැති සිග්මන්ඩර් ගන්ලෞග්සන්ට (Sigmundur Gunnlaugsson) සහ එවක පකිස්ථාන අගමැති වූ නවාස් ශරීෆ්ට සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමට පවා සිදු වුණා.
මේ හරහා අනාවරණය වූ කරුණු සමග අපකීර්තියට පත් වූ පිරිස අතර හිටපු බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්, පාපන්දු තරුවක් වන ලයනල් මෙසී, එවකට ආර්ජන්ටිනාවේ ජනාධිපති මොරිසියෝ මැක්රි සහ ස්පාඤ්ඤ චිත්‍රපට නිෂ්පාදක පෙද්රෝ අල්මෝඩෝවර් ඇතුළු තවත් අය සිටිනවා.
අනතුරුව එමගින් අපකීර්තියට පත් වූ බොහෝ අය නීති විරෝධී ලෙස ක්‍රියා කිරීම ප්‍රතික්ෂේප කළ අතර, ඔවුන් සිය ධනය අක්වෙරළ ගිණුම්වල තැන්පත් කිරීමට හේතු පැහැදිලි කළා.
කෙසේ නමුත් මෙම ආන්දෝලනාත්මක අනාවරණයෙන් වසර අටකට පසු මෙම නඩු කටයුතු ආරම්භ වී තිබීම පිළිබඳව ලෝකයේ ම අවධානය යොමුව තිබෙනවා.




